ජොන්ස්ටන්ගේ බවට සැක ෆෝර්ඩ් කාරයක් කොට්ටාවෙන් සොයා ගැනේ

කොට්ටාව, ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව පැවසෙන ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයක් පෙරේදා (02) සොයා ගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අලුත්වැඩියාවක් සඳහා බව පවසමින් වාද්දූව ප්‍රදේශයේ පදිංචි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රියැදුරකු විසින් 2024.02.28 දා මෙම වාහනය ගරාජයට ගෙනැවිත් දමා ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ අංක තහඩු හෝ තිබී නොමැති බව ද පොලිසිය කියයි. වාහනයේ අංකය KM 5121 ලෙස සටහන් කර තිබූ කඩදාසි කොලයක් වාහනය රැගෙන ආ රියදුරු තමාට පෙන්වූ බවත් ඒ අනුව වාහනේ අංකය ලෙස ඉහත අංකය තමා සටහන්කර ගත් බවත්, ගරාජයේ හිමිකරු පොලිසියට පවසා තිබේ. එහෙත් යළි වාහනය රැගෙන යාමට නොපැමිණීම නිසා මාස 08 තිස්සේ මෙසේ ගරාජයේ ගාල් කර තිබූ බව ද පැවසේ.

මේ සම්බන්ධයෙන් හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් (02) දා එම ගරාජයට ගොස් පරීක්ෂා කිරීමේ දී අංක තහඩු නොමැති මෙම වාහනය භාරයට ගත් බව පැවසේ. මෙම වාහනයේ කිසිදු අනන්‍යතා සහතිකයක් තිබී නොමැති අතර ඒ අනුව මෙය ලියාපදිංචි නොකොට එකලස් කරන ලද වාහනයක් බවට පොලිසිය සැක කරයි. ඒ අනුව වාහනයේ චැසි අංකය හා එන්ජින් අංකය අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා මෝටර් රථයේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට විමර්ශනයක් පවත්වන අතර රේගුවෙන් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා ද වාර්තා කැඳවීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස්. ජයමහා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.