ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රී පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එවන්න-ජනපති අනුර මහනුවරදී පවසයි

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මාලිමාවෙන් පාර්ලිමේන්තු එවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර, මහයියාව, වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී පෙරේදා (22) පැවති ජනතා රැලියේදී ඉල්ලීමක් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා මෙසේද කීවේය:

“පසුගිය ජනාධිපතිවරණය අපේ රටේ බලවත් දේශපාලන පරිවර්තනයක් ඇති කළ ඡන්දයක්. නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයෙන් සිදු කරගැනීමට බලාපොරොත්තු වන්නේ දූෂිත ප්‍රභූ දේශපාලනයෙන් පොදු ජනතාව අතට ගත් බලය තවදුරටත් ශක්තිමත් කරගැනීමයි. හිටපු පාලක කණ්ඩායම් කරන ප්‍රකාශවලින් ඔවුන් කොතරම් නම් වික්ෂිප්ත වී තිබෙනවාද කියා පෙනෙනවා. ඔවුන් දරාගත නොහැකි මානසික වියවුලකින් පෙළෙමින් සිටිනවා. මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ජනතාවට නායකත්වය දී සමීපව මෙහෙයවීම් කරමින් විසඳුම් සෙවීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපේ තුන්දෙනකුගෙන් සමන්විත ආණ්ඩුව ශක්තිමත් නැහැ. අපට අපේ ආණ්ඩුව ශක්තිමත්ව ගොඩනඟාගැනීමට වුවමනාව තිබෙනවා. ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් සහ ශක්තිමත් පාර්ලිමේන්තුවත් ගොඩනඟාගැනීම දක්වා සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් අප ගත කරමින් ඉන්නවා.

“බලය ගත් මොහොතේ අප අභියෝග කිහිපයකට මුහුණ දී සිටියා. ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට, ආර්ථිකයට දායකත්වය සපයන කණ්ඩායම්වලට ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් හදන්න ඕනෑ. ආර්ථිකයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන්ට ජාතික ජන බලවේගය ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තහවුරු කරන්න අප සමත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය 300ට පහළින් තිබෙනවා. ඒ වගේම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සැලසීමේ අභියෝගය අපට තිබුණා. ඒ අභියෝගය අප ජයග්‍රහණය කර තිබෙනවා. විරුද්ධ පාර්ශ්ව කිවුවා අප බලයට ආවොත් ලෝකයේ හුදෙකලා රාජ්‍යයක් බවට පත් වෙයි කියා. එහෙත් අද ජාත්‍යන්තර සහය ගැනීමට හැකියාව තිබෙන ප්‍රබලතම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවට පරිවර්තනය කොට තිබෙනවා.

“ඒ වගේම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණයකින් පසු රට තුළ සාමකාමිත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. ඉතිහාසයේ මෙතෙක් තිබුණු මැතිවරණයකට පසු විරුද්ධ පාර්ශ්වයන්ට පහර දීම්, ගිනි තැබීම්, වධ හිංසා පැමිණවීම් අප සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. අද මහ මැතිවරණයකට සූදානම් වන අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ඡන්ද පැවැත්වීමේ ඉතිහාසය අතිශය ඛේදනීයයි. මැතිවරණවලදී උඩතලවින්නේ මිනිස් ඝාතන සිදු වුණා; නාවලපිටිය, ගම්පොළ ප්‍රදේශවල කාර්යාලවලට පහර දෙන, ජනතාව බියවද්දන සංස්කෘතියක් තිබුණා. පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකර වෙනත් පාර්ශ්වයක් ජයග්‍රහණය කළා නම්, මේ මැතිවරණය මොන වගේ වේවිද? සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ ලෙස මැතිවරණවල යෙදෙන්න ඇති අයිතිය අද අප තහවුරු කොට තිබෙනවා. ඒ වගේම යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනඟමින් තිබෙනවා.

“ඒ ගොල්ලන්ට බලය තිබෙන විට, ගම්වලට ගොස් විදුලි බල මණ්ඩලයට දාගන්න, වෙනත් ආයතනවලට රස්සා දෙන්න ඇප්ලිකේෂන් පුරවන්න දෙනවා; හාල් බෙදනවා; බඩු බෙදනවා; තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය බලය කැත විදිහට යොදාගත්තා. මහජනයාගේ ධනය, රාජ්‍ය නිලධාරීන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදාගත්තා. ජාතික ජන බලවේගයේ අප කිසි ලෙසකින්වත් ආණ්ඩු බලය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන නැහැ. ඡන්ද කරන්නේ පක්ෂයෙන්. රට පාලනය කරන්නේ ආණ්ඩුවෙන්. මේ යහපත් දේශපාලන වෙනස්කම්, යහපත් පරිවර්තනයන් යළිත් වෙනස් කරන්න මේ රටේ ජනතාව ඉඩ දිය යුතුද? මේ ඇති කරන ලද වැදගත් දේශපාලන සංස්කෘතිය අප රැකගන්න ඕනෑ. 1977 සිට ඇමැති හැටියට, විපක්ෂ නායක හැටියට, අගමැති හැටියට, ජනාධිපති හැටියට මහජන දේපළ තමන්ගේ ජීවිත වෙනුවෙන් පාවිච්චි කළා. පැරදුණාමත් මහජනතාවගේ දේපළ තමන් වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ කැත සංස්කෘතිය ජාතික ජන බලවේගය නතර කරනවා.

“හිටපු මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් අප චිත්‍රසිරි මහත්මාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එහෙම යහපත් සංස්කෘතියක් රටට අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න අය කෙරෙහි ජනතාවට තිබෙන්නේ කෝපයක්, විරසකයක්. ඒත් ඒ අය පාර්ලිමේන්තුවට බලෙන් ගියේ නැහැ; යැවුවේ ඔබලාමයි. මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න, නොවැම්බර් 14 වැනිදා ජාතික ජන බලවේගයේ අයගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ.

“දැන් තැන් තැන්වලින් ලියාපදිංචි නොකළ වාහන හමු වෙනවා; රේගුවෙන් නිසි පරිදි ලංකාවට නොගෙනෙන ලද වාහන. සමහර වාහන ආර්එම්වීඑකේ රෙජිස්ටර් කරලත් නැහැ. සාමාන්‍ය පුරවැසියා අංක තහඩුවක් නැති වාහනයක් පාරට දාන්න බයයි. රේගුවෙන් පන්නපු, කෑලි ගෙනත් බට් කරපු වාහන පාරෙ දුවනවා. ඒ ගොල්ලන් බය නැහැ. නීතියට උඩින් ඉඳලා ඒගොල්ලන්ට පුරුදුයි. අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් අය නොවෙයි; දීර්ඝ කාලයක් රට වෙනුවෙන් දේශපාලනය කළ, අවංක අය. නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව සුද්ද කරනවා නම්, මාලිමාව නියෝජනය කරන අය පාර්ලිමේන්තුවට යවන්න ඕනැ. අපි විධිමත් කැබිනට් මණ්ඩලයක් හදනවා.

“ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න අප සැලසුම් හදා තිබෙනවා. අපේ වැදගත් ක්‍රියාමාර්ගයක් ඩිජිටල් ආර්ථිකයකට පියවර තැබීම. ලෝකයේ ඉහළම ආයතනයක සේවය කරන ඒ ක්ෂේත්‍රයේ උසස්ම වෘත්තීයවේදියා සතයක්වත් නොගෙන සේවය කිරීමට ලංකාවට පැමිණ සිටිනවා. නිවෙසේ සිට තමන්ගේ සේවා ඉටු කරගැනීමේ පහසුව සලසන, ආර්ථිකය ඉහළ තැනකට ඔසවන, ජනතාව වෙනුවෙන් සේවා සැපයීමේ කාර්යක්ෂම ඩිජිටල් ඉකොනොමි එකක් ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාවේ ගොඩනඟනවා. ගම දක්වා විහිදුණු සෑම අතකින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අපේ අපේක්ෂාවයි.”

පිරිවෙන් ගුරු සේවා සංගමයේ සංවිධායක ලේකම් බඹරගහකන්දේ ඤාණසිරි හිමි: 

“ඉතිහාසයේ සිටම ශ්‍රී ලාංකේය භික්ෂුවට දේශපාලනයේදී සුවිශේෂ කාර්යභාරයක් හිමි වුණා. මේ රට ආක්‍රමණය කළ බ්‍රිතාන්‍යයන් ජනතාව සූරාකමින්, තළාපෙළා පාලනය කරගෙන යන විට ඊට එරෙහිව පෙරමුණ ගෙන සටන් වැදුණේ මේ රටේ භික්ෂූන් වහන්සේයි. අතීත අපේ වීරෝදාර භික්ෂූන් ගිය මඟේ යන අද ලංකාවේ එකම භික්ෂු සංවිධානය ජාතික භික්ෂු පෙරමුණයි. අප මේ රට වෙනුවෙන් මේ මෙහෙවර කරන්නේ කිසිදු වරප්‍රසාදයක් වරදානයක් අපේක්ෂාවෙන් නොවෙයි.”

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එරික් වීරවර්ධන මහතා:

“2023 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවරින් ඡන්ද 23,000ක් හිමි කරගත් මාලිමාව, පසුගිය සැප්තැම්බර් 21 වන විට ලක්ෂ හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් දී ජනාධිපතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් අත් කරදීමට සමත් වුණා. දැන් අපට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.

ඉදිරි මහ මැතිවරණයේදී අපේ ඡන්ද ලක්ෂ හතර, ලක්ෂ හයක් කරගනිමු. මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මාලිමාවේ දහ දෙනෙක්

යවමු.”

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක කේ.ඩී. ලාල්කාන්ත මහතා:

“අප මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ කරන්න එනකොට සමහරු අපට කිවුවේ දිස්ත්‍රික්කයේ ඡන්ද පදනම වෙනස් කරන්න බැහැ කියලා. ඒත් ඔබ සියලු දෙනා පුනරුදයක් වෙනුවෙන් කැප වෙලා මාලිමාව ජයග්‍රහණය කරනවා කියලා රටට පෙන්නුවා. ඒ කැප කිරීමට අප ගොඩක් ආදරය කරනවා. අපේ දේශපාලනයට විරුද්ධව හිටපු අයත් යථාර්ථය තේරුම් අරන් වෙනස් වෙනවා නම් අපි ඒ අයත් ආදරයෙන් පිළිගන්නවා.

මුළු සමාජයක් කුණු වුණාම සමහර දේශපාලකයොත් කුණු වෙනවා. එතැනදී අප එක් එක් පුද්ගලයාට පෞද්ගලිකව වෛර කර වැඩක් නැහැ. චෝදනා ඇති අයට නීතියෙන් උත්තර දෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයෙන් නාම යෝජනා ගන්න විවිධ තරාතිරමේ උදවිය 543ක් ඉදිරිපත් වුණා.

ඒත් අපට නාම යෝජනා දෙන්න පුළුවන් 15 දෙනෙකුට පමණයි. අපට නාම යෝජනා දෙන්න 15ක් හොයාගන්න බැරි වුණු කාලයක් තිබුණා. ඒත් අද 543 දෙනකු ඉදිරිපත් වීමෙන් පේන්නේ මොකක්ද? අපේ

දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරනවා කියන එක නේද?”