තම සංගමයට අයත් කලාපීය වැවිලි සමාගම් (RPC) දීපාවලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙන අත්තිකාරම් මුදල රුපියල් 5,000 කින් වැඩි කළ බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඒ අනුව සියලුම RPC වතු සේවකයන්ට දීපාවලි උත්සවය වෙනුවෙන් මීට පෙර ලබා දුන් රුපියල් 20,000 සිට රුපියල් 25,000ක් දක්වා වැඩි කළ අත්තිකාරම් මුදලක් ලබා දී තිබෙන අතර එය සියයට 25ක වැඩිවීමක් බව ද මේ අතර කාර්ය මණ්ඩලය සඳහා සියයට 20ක වැඩිවීමක් සමඟින් රුපියල් 25,000 සිට රුපියල් 30,000ක් දක්වා අත්තිකාරමක් හිමිවන බව ද එම සංගමය පෙන්වා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා පෙන්වා දෙන්නේ ‘දීපාවලි උත්සවයේ ඇති සංස්කෘතික වැදගත්කමට ගරු කරමින් RPC ස්වේච්ඡාවෙන් මෙම තීරණය ගනු ලැබුවා. මෑතක දී සිදුකළ වැටුප් වැඩිවීමට සමගාමීව මෙම වැඩිකළ අත්තිකාරම් ලබා දීමෙන් සේවකයින්ට සහයෝගය දැක්වීමටත් මූල්‍ය සුරක්ෂිතතාවකින් මෙවර උත්සව සමය සැමරීමට ඔවුන්ට උපකාර කිරීම සඳහාත් RPC හි කැපවීම පෙන්නුම් කරනවා’ යැයි පැවසීය.
දීපාවලි උත්සවය සඳහා මෙම වැඩිකළ අත්තිකාරම් ලබා දී ඇත්තේ මෑතක දී වතු කම්කරු වැටුප් වැඩි කිරීමට සිදුකළ සාර්ථක සාකච්ඡාවලින් පසුව වන අතර එම සාකච්ඡාවලින් පසුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 සිට රුපියල් 1,350 ක් දක්වා වැඩි විය. මීට අමතරව, සම්මත ඉලක්කයට වඩා නෙළා ගනු ලබන සෑම තේ දලු කිලෝවක් සඳහාම අමතර ආදායමක් ලැබෙන බැවින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමෙන් වතු කම්කරුවන්ට දැන් වැඩි ආදායමක් ලබා ගත හැකිය.
මෙම වැටුප් වැඩිවීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ තේ අස්වනු නෙළන්නන් වෙනත් ගෝලීය තරගකරුවන්ට සාපේක්ෂව ඉහළම වැටුප් ලබන අය අතර විය. ඊට අමතරව මෙම වැටුප් සංසන්දනය සඳහා කලාපීය වැවිලි සමාගම් පිරිනමන නිවාස, සෞඛ්‍ය සේවා සහ වෙනත් සුබසාධන වැඩසටහන් ඇතුළත් නොවූ බව ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.