හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩුකර නෑ -ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.

එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව හිමිවන බව සඳහන්.

එමෙන්ම දැනට වාහන 03ක් හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008, Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබා දෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබන අතර ඒ වෙනුවෙන් දැනට සේවයේ නියුතු යුද හමුදා හා නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බව ජනාධිපති අංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.