බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා
2026දී විභාග කාලසටහන පෙර පරිදිම – විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර
කිසිදු හේතුවක් නිසා 2024 උසස් පෙළ විභාගය කල් නොදමන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා දින 22ක් පුරාවට පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව ද අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
එම විභාග කාලසටහන වෙනස් කර නැති අතර සමාජ මාධ්‍ය හෝ වෙනත් ප්‍රචාරයන් නිසා ඒවාට නොරැවටී නියමිත දිනවල පැවැත්වෙන විභාගයට දරුවන් සූදානම් විය යුතු බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) පැවසුවේය.
විභාග දෙපාර්තමේන්තුවේ [email protected] නිල වෙබ් අඩවියෙන් උසස් පෙළ විභාග කාලසටහන බාගත කර ගත හැකි බවත් පසුගිය මාර්තු මාසයේදී උසස් පෙළ විභාගය සඳහා දින තීරණය කළ අතර දරුවන්ට විභාගය සඳහා සූදානම් වීමට අවශ්‍ය කාලය ඕනෑවටත් වඩා ලැබී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයන් සඳහා විභාගයට සූදානම් වීමට පාසල් දින 361ක් ලැබුණු බවත් එක් විෂයක් ආවරණය සඳහා කාලපරිච්ඡේද 600ක් ප්‍රමාණවත් වුවත් මෙවර විභාග අපේක්ෂකයන්ට ඉගෙනුම් කටයුතු සඳහා කාලපරිච්ඡේද 722ක් ලැබුණු බවත් ඒ මහතා පැවසීය.
උසස් පෙළ විභාගය පිළිබඳ සමාජ මාධ්‍ය තුළින් විශාල වශයෙන් වැරදි ප්‍රචාරයන් සිදු කරන බවත් ඒ අනුව දරුවන් අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන අතර එය නිවැරදි කිරීමේ අරමුණින් මාධ්‍ය හමුව පැවැත්වූ බවත් ඒ මහතා කීය.
සැම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්රචාරයන්ට නොරැවටෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
විභාගය කල් දමන ලෙසට තමාට හා විවිධ ආයතන වෙත ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් උසස් පෙළ විභාගයේ දින තීරණය කරනු ලැබුවේ සම්පූර්ණ විෂය ආවරණ කාලය පිළිබඳ අවධානය යොමු කර බවත් ඒ මහතා කියා සිටියේය.
පසුගිය කාලසීමාව පුරා රට මුහුණ දුන් නොයෙක් අර්බුද හේතුවෙන් විභාග ඉතා අක්‍රමවත් ලෙස පැවැත්වීමට සිදු වූයේ යැයි ද 2025 වසර අවසන්ව 2026 වසර ආරම්භයේදී විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙවර උසස් පෙළ සඳහා විෂයන් 64ක් යටතේ අයදුම්කරුවන් 333,185ක් පෙනී සිටීමට නියමිත බවත් ඉන් පාසල් අයදුම්කරුවන් 253,390ක් සිටින අතර පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් අයදුම් කර ඇති බවත් විභාග කොමසාරිස්වරයා පැවසීය.
විභාග මධ්‍යස්ථාන 2,317කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර උතුරු පළාතේ ඩෙල්ෆ්ට් සහ නයනතිව් දූපත්වලද විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර තිබෙන බව ද ඒ මහතා පැවසුවේය.