ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන සුමති ධර්මවර්ධන මහතා පත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (30) නිවේදනය කළේය.
ජනාධිපති නීතිඥවරයකු ද වන සුමති ධර්මවර්ධන මහතා ලබන නොවැම්බර් මස 1 වැනිදා සිට එම තනතුරෙහි වැඩ භාර ගැනීමට නියමිත බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
අයිසීසීයේ එවැනි තනතුරකට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන සුමති ධර්මවර්ධන මහතා මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය සහ මෙරට රජය වෙනුවෙන් දේශීය හා විදේශීය මට්ටමෙන් විවිධ නීති කටයුතුවලට සම්බන්ධව සිටි කීර්තිමත් නිලධාරියෙකි. මීට අමතරව ඔහු ඉන්ටර්පෝල් පොලීසිය සමඟත් මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟත් කටයුතු කර ඇති අතර, මෙරට ක්‍රීඩාවේ දූෂණ වංචා සම්බන්ධ විමර්ශනවලට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත. එමෙන්ම ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශන හා නීති කටයුතුවලට ද ඔහු සිය දායකත්වය ලබා දුන්නේය.
අයිසීසී යේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියාගේ තනතුර ස්වාධීන තනතුරක් වන අතර, දූෂණ විරෝධී ඒකකයේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සහ ඊට නායකත්වය ලබාදීම ඔහුගේ මූලික කාර්යභාරය වේ. සුමති ධර්මවර්ධන මහතා අයිසීසී දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස පත්වූයේ වසර 14ක කාලයකින් පසු එම ධුරයෙන් විශ්‍රාම ගත් බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් වෙනුවටය.