ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයට කළ සියලු චෝදනා අද බොරු වෙලා-ජනපති බේරුවලදී කියයි

පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ රට ගැන හිතන පුද්ගලයන්ගෙන්: 
ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කළ එකද පළපුරුද්ද කියන්නේ: 
හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි: 

පොදු ජනතාවගේ පාලනයක් ගැන දශක ගණනාවක සිට මැවූ හීනය අද සැබෑ වෙලා
– ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

රනිල් රකින්න තම නීති දැනුම පාවිච්චි කළ කෙනා තමයි අජිත් පෙරේරා කියන්නේ
– ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයට එල්ල කළ චෝදනා සියල්ල අසත්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ,රට ගැන හිතන,රටට ආදරය කරන පුද්ගලයන්ගෙන් බවද ජනපතිවරයා සඳහන් කළේය.

ජනපති අනුර කුමාර දිසානායක මහතා එසේ සඳහන් කළේ, ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය කළුතර,බේරුවල සංවිධාන කර තිබූ ජන රැලිය පසුගියදා (27) අමතමිනි.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“විරුද්ධ පාර්ශ්වයන් වේදිකාවල හඬ නඟනවා. පුරුදු අය පාර්ලිමේන්තුවට එවන්න කියලා. හොරා කෑම පුරුදු, නීති විරෝධී වැඩ කර පුරුදු, පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාපු, පිහි අරගෙන ආපු, අසභ්‍ය වචන කතා කරන, වැරදි තීරණවලට අත එසවීමේ හොඳ පුරුද්දක් තිබෙන, ජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කිරීමට පළපුරුද්ද තිබෙන, කාර් පර්මිට්, බාර් පර්මිට් ගැනීමේ පුරුදු තිබෙන අය තමයි මේ නැවතත් එවන්න කියන්නේ. අපි කියන්නේ මේ සැරේ පාර්ලිමේන්තුව අලුත් අයගෙන් පුරවන්න ඕනෑ කියලයි.

මේ රටේ දේශපාලනය යහපත් පැත්තට පරිවර්තනය කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලනය කියන්නේ බිස්නස් එකක්. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ඒ මන්ත්‍රී බලය උපයෝගී කරගෙන ධනය උපයනවා. ඉඩකඩම් මෙන්ම කොළඹින් ගෙවල් හතරක් පහක් මිලදී ගන්නවා. දේශපාලනය එයාලට මුදල් ඉපයීමේ මාර්ගයක්. එයාලගේ දේශපාලනයේදී යම් යම් ව්‍යාපෘති තෝරා ගන්නේ රටට කොතරම් වැදගත්ද යන්න සොයා බලා නොවෙයි. තමන්ට කොතරම් කොමිස් මුදලක් ලැබෙනවාද යන එකඟතාව මතයි. මේ නිසාම අපේ රටට පිරිසුදු ආයෝජකයන් එන්නේ නැහැ. අපි මේවා වෙනස් කරනවා.

දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්න සෞඛ්‍ය ඇමැති ආදායම් උපයන්න බෙහෙත්වලින් සොරකම් කරනවා. ධීවර ඇමැති චීනෙන්, ජපානෙන් අල්ලන මාළු ලංකාවට ගොඩදාන්න අවසර දෙනවා. ගානකුත් ගන්නවා. තමන්ට ලැබෙන මුදලේ වාසිය බලාගෙන බාල පොහොර ගෙන්වනවා. ඉන්ධන සාධාරණ මිලට ගන්නවා වෙනුවට වැඩි මිලට ගන්නවා. හොඳ විදුලි බලාගාර ගලවාගෙන යනවා. අලුතින් හදන්නේ නැහැ. අහිතකර ගිවිසුම්වලට අත්සන් කරනවා. දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්නා විට රටේ ජනතාව පීඩාවට පත්වෙනවා. මේ තත්ත්වය අවසන් කරන්න නම්, මේ දේශපාලන බිස්නස් එක මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය අපි මුල පුරා තිබෙන්නේ ඒකට. හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඩිජිටල් කරන ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ගොඩක් දේවල් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් විදිහට පහසුකම් සපයා දෙනවා. ආණ්ඩුවෙන් දෙන ඕනෑම දීමනාවක් තමන්ගේ ගිණුමකට එවන්න සලස්වනවා. ෆෝන් එකෙන් ගනුදෙනු කරන්න හැකි කාර්යක්ෂමතාවක් හදන්න ඕනෑ. අපි කෙටි කාලයකින් පුරවැසියන්ට කරදර නොවෙන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ආරම්භ කරනවා.

ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. සිදු කර ඇති වංචා, දූෂණ විමර්ශනය කිරීමේ කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධ නීතිමය කටයුතු කිරීමට තිබෙන ෆයිල්, සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේත්,සමහර ෆයිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් තිබෙනවා. ඒ සියලුම ෆයිල් විවෘත කර,අදාළ වැඩකටයුතු කරනවා. ඒ වැඩකටයුතු කළ හැකි නිලධාරීන් අපි පත් කර තිබෙනවා. ඒ කාර්යය කරගෙන යෑම නිලධාරීන්ගේ වැඩක්. අපේ වැඩේ තමයි ඒ නිලධාරීන්ට සහාය දෙන එක. උපදෙස් දෙන එක. ඒ පරීක්ෂණ ආරම්භ කරන්න, අපරාධ පරීක්ෂණ කළ හැකි දක්ෂතම නිලධාරීන් ක්‍රමානුකූලව පත් කරමින් තිබෙනවා. මහමැතිවරණයෙන් පසුව අපි කැබිනට් මණ්ඩලය හදනවා. එය 25ට වඩා අඩු කැබිනට් මණ්ඩලයක්. ඒකට අනුරූපී නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරනවා. ඊට පසුව මේ රට ගොඩනැඟීමට ක්‍රමානුකූලව සැලසුම් සකස් කරනවා. රට ගොඩනඟන තෙක් අපි ජනතාව බලා ගන්නවා.

අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000කින් වැඩි කළා. එළඹෙන අය වැය ලේඛනයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. පොහොර සහනාධාරය දෙනවා. ධීවර ජනතාව සඳහා ඉන්ධන දීමනාව ලබාදීමට කටයුතු කර තිබෙනවා. දිළිඳු ජනතාව වෙනුවෙන් දෙන සහනාධාර වැඩි කරනවා. වෙනත් ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහන ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා.

අපේ කෘෂිකර්මාන්තය තාක්ෂණය යොදා ගනිමින් ඉහළ තලයකට ගේනවා. ගොවි ජනතාව දුප්පත්භාවයෙන් ගලවා ගන්නවා. කුඩා තේ වතු හිමියන්, කුඩා පරිමාණයේ කුරුඳු වගාව කරන්නන්, තමන්ගේ ආදායමට ප්‍රමාණවත් වන තරමින් දියුණු කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. අයි.ටී. ක්ෂේත්‍රයේ විශාල සැලසුම් ප්‍රමාණයක් සකස් කොට තිබෙනවා. 2025 වෙන විට ලංකාවට එතෙක් වසරකට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ගෙනා ආණ්ඩුව බවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත් කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අප කෙරෙහි විශ්වාසය තබා විශාල ලෙස මුදල් එවීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ සහාය ඉදිරියටත් අපි අපේක්ෂා කරනවා. අපේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන්ගේ කර්මාන්ත, ව්‍යාපාර දියුණු කරන්න අපෙන් දිය යුතු සහාය දෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කළ යුතු පරිවර්තන කුමක්ද යන්න සොයා බලා තිබෙනවා. අපේ පාසල් පද්ධතිය කඩා වැටී තිබෙනවා. විශාල පාසල් ප්‍රමාණයකට ළමයින් නැහැ. පාසල් 18%ක පමණ ළමයි 50ට වඩා අඩුයි. ඒ වගේම ළමයි පාසල් නැතිව ඉන්නවා. තමන්ගේ ආසන්නම පාසල කෙරෙහි මව්පියන්ගේ විශ්වාසය බිඳවැටී තිබෙනවා. ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක් නැති පාසල්, ළමයින් අතර සාමූහික ක්‍රීඩා තරගයක් පවත්වන්න නොහැකි පාසල් තිබෙනවා. හැම අම්මා, තාත්තාම කල්පනා කරන්නේ හොඳ පාසලකට තමන්ගේ දරුවා ඇතුළත් කරන්න. අපි මේ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් කරනවා. සෑම පාසලකටම ගොස් ඇතිවී තිබෙන තත්ත්වය සොයා බලන්න. අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. එසේ සොයා බලා ඒ පාසල් දියුණු කරන්න අඩුපාඩුකම් සොයා බලා සැලසුම් සකස් කර දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමේ වගකීම අපි භාරගෙන තිබෙනවා. ඒ වගේම රට ගොඩනඟන, ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් අපේ ආණ්ඩුව.

අපි එකිනෙකාගේ කකුලෙන් අදින්න බැරි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගන්න ඕනෑ. එහෙම හදන්න නම් ලබන 14 වැනිදා මාලිමාවේ වැඩි පිරිසක් පාර්ලිමේන්තු යවන්න ජනතාව තීන්දුවක් ගන්න ඕනෑ.

අද ඡන්දයක් තිබෙනවාද කියා ජනතාවට දැනෙන්නේ නැහැ. වෙනදා ඡන්දයක් තියන කොට කොඩි වැල් ගිනි තබනවා, පහර දෙනවා. වාහන රථ පෙළපාළි යනවා. ඡන්දෙ නොදුන්නොත් සමෘද්ධිය කපන බවට තර්ජනය කරනවා. ආණ්ඩුවෙන් ඇවිත් හාල් බෙදනවා, තහඩු බෙදනවා, ඇප්ලිකේෂන් බෙදනවා. ඒ විදිහටයි පසුගිය කාලේ ඡන්ද කළේ. ඒවා ඡන්ද නොවෙයි, ඒ චණ්ඩි. අද ඒවා කිසිවක් නැහැ. ඡන්ද කියන්නේ මේවට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමයි ලංකාවේ පළමුවැනි වතාවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නේ. මේවා තමයි වෙනස්කම්. සෑම අවස්ථාවකම අපි රටට අලුත් වෙනස්කමක් පෙන්නලා තිබෙනවා. රටේ වැඩ භාර ගන්න විට, කැබිනට් මණ්ඩලය හදන විට, අපි වැඩ කරන කොට, රටට අලුත් වෙනස්කමක් කර තිබෙනවා. මේ කෙටි කාලයේ අපි රට සුබදායක දිසාවට වෙනස් කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා-

අපි මේ රටේ පොදු ජනතාවගේ පාලනයක් ගැන දශක ගණනාවක සිට හීන දකිමින් සිටියා. එය සැබෑ කර ගැනීමට අපි ධෛර්ය සම්පන්නව දිගටම වැඩ කළා. පසුගිය සැප්තැම්බර් 21 වැනිදා අපේම කියලා ජනාධිපතිවරයෙක් අපේම කියලා ආණ්ඩුවක් හදන්න පළමු පියවර තබන්න අපට පුළුවන් වුණා. ඒක ගැන ජනතාවට, අපට විශාල සතුටක් තිබෙනවා. ඒ සතුට වගේම අපට වගකීමක් තිබෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන්න. අපට අවශ්‍ය ශක්තිය ගන්න තව කඩඉමක් පසුකර යා යුතුයි. ඒ තමයි නොවැම්බර් 14 වැනි දින පැවැත්වෙන මහ මැතිවරණය. ඒ මැතිවරණයේදී රට විනාශ කළ සතුරු බලවේගවලට යළි කිසිදා මේ රට භාර නොදීමට අවශ්‍ය දැඩි තීන්දුවක් ගත යුතුව තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් අපි ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාම ශක්තිමත් කණ්ඩායමක්. හොරු, චේන් කඩන අය, පුට්නෝට්කාරයෝ වෙනුවට හොඳම මහජන නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවට කළුතරින් යැව්වා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපට මේ මහ මැතිවරණයේදී ලොකු අභියෝගයක් නැහැ.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා-

සජිත්ට නොදීපු ඡන්දයක් මහ බැංකු වංචාවේ ප්‍රධානියෙක් වුණු අජිත්ට දෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ රකින්න, තමන්ගේ නීති දැනුම පාවිච්චි කළ කෙනා තමයි අජිත් පෙරේරා කියන්නේ. එදා රනිල්ට දුන්න ඡන්දයක් රෝහිතට, රාජිතට හෝ පියල්ට දෙන්න ජනතාවගේ සූදානමක් නැහැ. එදා සජිත්ට, රනිල්ට ඡන්දය දුන් අය මෝඩකමක් කර ගත් බව පිළිගෙන තිබෙනවා.

කළුතර කියන්නේ ඉතිහාසයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරු රාශියක් පත්වුණු දිස්ත්‍රික්කයක්. ජනතාවට ප්‍රතිලාභ අත්පත්කර දෙනවා නම්, ඕනෑ තරම් අවස්ථා ඒ ඇමැතිවරුන්ට තිබුණා. රටට හෝ ජනතාවට වැඩක් නොවුණත් ඔවුන්ට සහ ඔවුන් වටේ සිටි අයට පමණක් වැඩක් සිදු වුණා.

මේ රටේ නිෂ්පාදනයට දායක කර ගත හැකි සම්පත් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. ඒවා උපයෝගී කරගෙන කර්මාන්ත අවස්ථා ඇති කරමින්, ආර්ථිකය දියුණු කරමින් එහි ප්‍රතිලාභ ඔබට ලබාදීමට කටයුතු කරනවා. සෞඛ්‍ය පහසුකම් හා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමටත්, ජනතාවට උසස් ආර්ථික අවස්ථා ලබාදීමටත් කටයුතු කරනවා. මේ වගකීම් උරමත දරාගත් කණ්ඩායමක් තමයි මේ ඔබ හමුවේ ඉන්නේ. මේ කණ්ඩායමෙන් අටකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඔබට පුළුවන්.