මෙරට ශ්‍රම බළකායේ ඉහළ යෑමත් සමඟ සෞඛ්‍ය සේවාවේ ශ්‍රම බළකාය ද ඉහළ යා යුතු බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ (PGIM) වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 (Annual Research Symposium – 2024) පසුගියදා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැති අවස්ථාවේ ඊට එක් වෙමින් ලේකම්වරයා මේ බව කීවේය. මෙම වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය මෙවර පැවැත්වූයේ “ශ්‍රී ලංකාව තුළ තිරසාර වෛද්‍ය ශ්‍රම බළකායක් ගොඩනැඟීම” (BUILDING A SUSTAINABLE MEDICAL WORKFORCE IN SRI LANKA) යන්න තේමා කර ගනිමිනි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ 2030 වසර වන විට මෙරට ශ්‍රම බළකාය අවම වශයෙන් සියයට 30කින් පමණ වැඩිවනු ඇති බවත් එබැවින් අවම වශයෙන් තවත් වසර 10කින් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බළකාය 200,000කට ආසන්න හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බවයි.
සෞඛ්‍ය සේවාවේ තිරසරභාවය, සෞඛ්‍ය සේවා ශ්‍රම බළකායේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සමඟ ඍජුව බැඳී ඇති බවත් බෝ වන සහ බෝ නොවන රෝග පාලනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, වැඩිහිටි ජනගහනයේ සෞඛ්‍ය ආරක්ෂණය වැනි සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට අඛණ්ඩ පුහුණු වැඩසටහන් දියත් කරමින් කුසලතා සහ දැනුමෙන් සන්නද්ධ තිරසාර ශ්‍රම බළකායක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක් වන බවත් පෙන්වා දෙන ලදි. මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බළකා සංවර්ධනය සඳහා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය දක්වන දායකත්වය මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ඇගැයීමට ද ලක්විය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ මෙහෙවර වන්නේ ශ්‍රී ලාංකේය ජනතාවට ප්රශස්ත මානුෂීය සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉහළම තත්ත්වයේ, නිපුණතාවයෙන් සහ කැපවීමෙන් යුත් විශේෂඥයන් බිහි කිරීමට අවශ්‍ය පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගැයීමයි.
මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේනක රාජපක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.