පූඬළුඔය පොහොට්ටු රැස්වීමේදී හිටපු මන්ත්‍රී සී.බී.ගේ කතාවට පාක්ෂිකයන්ගේ දැඩි විරෝධය-අපි ආවේ ඔයාගේ කතාව අහන්න නෙවෙයි නාමල් මහත්තයගෙ කතාව අහන්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (25) දින පස්වරුවේ කොත්මලේ පූඬළුඔය නගරයේ පැවති මහ මැතිවරණ රැස්වීමකට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා සහ අපේක්ෂකයන් කිහිප දෙනකු සභාව ඇමතීමට උත්සාහ කිරීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් මතු විය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන් හඳුන්වා දීම සඳහා මේ රැස්වීම සංවිධානය කර තිබූ අතර, එහිදී සි.බී. රත්නායක මහතා රැස්වීම ඇමතීමට සූදානම් වීමත් සමඟ පාක්ෂිකයන් කෑගසමින් කියා සිටියේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසීමට පමණක් බවත්, සී.බී. රත්නායක මහතාගේ කතාව ඇසීමට නොවන බවත්ය.

මේ අවස්ථාවේ සි.බී. රත්නායක මහතා රැස්වීම අමතමින්, පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත්හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 දෙනකු පමණ ගිය බවත්, තමා කිසි දිනෙක පක්ෂය පාවා නුදුන් බවත් ප්‍රකාශ කළේය. තමාට පැමිණෙන අභියෝගවලට නිර්භයව මුහුණ දීමට තමා කැමැති බවත්, තමා කරන කතාව ඇසීමට අකැමැති යමකු සිටී නම් ඔහුන්ට මේ කතාව ඇසීමෙන් වැළකී සිටින ලෙසත් සී.බී. රත්නායක මහතා රැස්වීමට පැමිණ සිටි පාක්ෂිකයන්ට පැවසීය.

මඳ වේලාවක් ඒ උණුසුම් තත්ත්වය පැවති අතර, පසුව නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් උණුසුම් තත්ත්වය සමථයකට පත් කළද නාමල් රාජපක්ෂ මහතා රැස්වීම ඇමතූ අවස්ථාවේ පාක්ෂිකයන් නාමල් රාජපක්ෂ මහතාගේද කතාවට බාධා කරමින් කියා සිටියේ පක්ෂය හැර ගිය කිසිදු අයකු ආපසු පක්ෂයට එක් කර නොගන්නා ලෙසයි.