ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථා සංශෝධනයට හා නව නිලධාරි මණ්ඩලය පත් කිරීමට ශ්‍රී ලංකාවට ලබා දී ඇති කාලසීමාව තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට ලෝක රග්බි සම්මේලනය තීරණය කරයි. ඒ අනුව ලබන වසරේ ජනවාරි 31 වැනි දිනට පෙර ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කොට නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත ලෝක රග්බි සම්මේලනයේ අන්තර්ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානී ඩේවිඩ් කාර්ගී මහතා ඊයේ ලිඛිතව දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථා සංශෝධනය හා නව නිලධාරි මණ්ඩලය පත් කිරීමේ අවසන් දිනය ලෙස ලෝක රග්බි සම්මේලනය ලබන නොවැම්බර් මස 8 වැනිදා ප්‍රකාශයට පත්කොට තිබූ අතර, එසේ නොවුණහොත් ජාත්‍යන්තර තහනමක් පැනවීමේ අවදානමක් මතුවිය.
එබැවින් මේ සම්බන්ධව ලෝක රග්බි සම්මේලනය සමඟ සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ක්‍රීඩා ඇමැති හා අග්‍රාමාත්‍ය හරිනි ප්‍රනාන්දු මෙනවිය ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම්දී තිබුණි. ඒ අනුව පසුගිය 16 වැනිදා ලෝක රග්බි සම්මේලනයේ අන්තර්ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානී ඩේවිඩ් කාර්ගී මහතා ලිඛිතව ඇමැතූ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා පවතින තත්ත්වය පැහැදිලි කොට නිලවරණය නිමා කිරීමට සාධාරණ කාලයක් ඉල්ලා සිටියේය.
රග්බි ව්‍යවස්ථා සංශෝධනය සිදු කොට නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට කටයුතු ආරම්භ කොට තිබියදී පළාත් සංගම් කිහිපයක් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම හේතුවෙන් නිලවරණ කටයුතු සියල්ල තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවූ බවත්, නීතිපති උපදෙස් අනුව කඩිනමින් සියල්ල නිමා කරන බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා ලෝක සම්මේලනයට පොරොන්දුවක් ලබාදී ඇත.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථා සංශෝධනය හා නව නිලධාරි මණ්ඩලය පත් කිරීම වෙනුවෙන් නීතිපති උපදෙස් අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම අගය කරන බවත්, අවශ්‍ය කටයුතු නිම කිරීම වෙනුවෙන් ලබන වසරේ ජනවාරි 31 වැනිදා දක්වා කාලය ලබා දෙන බවත් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් වෙත ලෝක සම්මේලනය දැනුම් දී ඇත. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ තත්ත්වය ඉන් පසුව ලෝක රග්බි විධායක මණ්ඩලය විසින් සලකා බලන බවද ලිපියේ දැක්වේ.
රග්බි ආයතනයේ ව්‍යවස්ථා සංශෝධනයට හා නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව පළාත් සංගම් විසින් අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබූ නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් මස 6 වැනිදා සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.