කඳුකර දමිළ ජනතාවට වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න-ඇමැති විජිත හේරත් අමාත්‍යාංශ නිලධාරීන්ට කියයි

කඳුකර දමිළ ජනතාවට වඩාත් යහපත් සමාජ, ආර්ථික සහ සංස්කෘතික ජීවිතයක් උරුම කරදීමට රජය විසින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතී කඩිනමින් අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන ලෙස පරිසර වනජීවී වන සම්පත් ජල සම්පාදන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති විජිත හේරත් මහතා අමාත්‍යංශ නිලධාරීන්ට පෙරේදා (23) උපදෙස් දුන්නේය.

ඇමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේ අමාත්‍යංශ නිලධාරීන් සමඟ පැවැති රැස්වීමක් අතරතුරදීය.

වැවිලි කලාප සඳහා වූ නව ගම්මාන අධිකාරිය, වැවිලි මානව සංවර්ධන භාරය සහ සෞඛ්‍ය මූර්ති තොණ්ඩමන් භාරය යන රාජ්‍ය ආයතන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කළ අතර ඉන්දියානු රජයේ ණය ආධාර සහිතව ක්‍රියාත්මක වන නිවාස ඉදි කිරීමේ යෝජනා වැඩසටහන් මෙන්ම අමාත්‍යාංශ ප්‍රතිපාදනය යටතේ ආරම්භ කර තිබෙන ප්‍රජා යටිතල පහසුකම් ව්‍යාපෘතීන් හි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන ලදී.

වැවිලි මානව සංවර්ධන භාරය විසින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති අතුරින් 2024 වසරේ තුන් වන කාර්තුවේ අගභාගය වන විට 2024ට අදාළ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිහි ප්‍රගතිය 90 % ඉක්මවා තිබෙන අතර නව ගම්මාන අධිකාරිය විසින් (New villages development auhority for plantation region) ව්‍යාපාති ක්‍රියාත්මක වන නිවාස හිමිකම් සහ ඉඩම් ඔප්පු ප්‍රදානයට කටයුතු සැලසුම් කර තිබෙන බවත් එම අධිකාරියේ මෙහෙය වීමෙන් කඳුකර වතු ජනතාවගේ නිවාස සංගනනයක් සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

සෞඛ්‍යය මූර්ති තොණ්ඩමන් භාරය යටතේ හැටන් නගරයේ අලුතින් ඉදිකෙරෙන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික සහ වෘත්තීය පාඨමාලාවන් සඳහා පාසල් හැරයන තරුණ ප්‍රජාව සහභාගි කර ගැනීමේ අවශ්‍යතාවය සහ කදුකර තරුණ තරුණයන් උදෙසා වෘත්තියාභිමුඛ පාඨමාලා හඳුන්වාදීමේ වැදත්කම පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදී. එසේම රාජ්‍ය ආයතන අතර සමිබන්ධීකරණ දෝෂ නිරාකරණය කිරීම, කඳුකර වතු නිවාස මුල් කර ගනිමින් පවත්නා සෞඛ්‍යය සේවාවන්හි ගැටලු නිරාකරණ කිරීම, කඳුකර නිවාසවල වෙසෙන පාසල් දරුවන්ගේ දිවා ආහාර ලබාදීමේ වැඩසටහන විධිමත් කිරීම, දීපවාලි ඇතුළු දමිළ ජනතාවගේ අනෙකුත් උත්සව අවස්ථාවන්ට සම්බන්ධ සංස්කෘතික අවස්ථා සංවිධානය කිරීම ආදී කාරණා පිළිබඳව උපදෙස් ලබාදීමටත් මෙහිදී අමාත්‍යවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද සහභාගි විය.