ගැඹුරු මුහුදේදී අනතුරට ලක් වී ගොඩබිමට රැගෙන ආ ධීවරයා කරාපිටිය රෝහලට

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වූ ධීවරයකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින්, කිරින්දේ සිට නාවික සැතපුම් 179ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී අනතුරකට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ගාල්ල වරාය දෙසට රැගෙන ඒමෙන් පසු පෙරේදා (23) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.

කප්පරතොට ධීවර වරායෙන් පසුගිය 15 වැනි දින ධීවරයන් පස් දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Hansana 01” නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයකු, ධීවර කටයුතු කරමින් සිටියදී හදිසි අනතුරක් මත ඇඟිල්ලකට වූ තුවාලයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත. එම ධීවරයා වෙත ප්‍රතිකාර කිරීමට කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර ඇත.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අනතුරට පත් ධීවරයා ගොඩබිම ආසන්නයට රැගෙන ඒමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා, දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යෙදවීමට කටයුතු කර ඇත.

අනතුරට පත් ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.