ඩෙංගු හිස ඔසවයි-අධිඅවදානම් කලාප 7ක්

මෙම දිනයන්හි පවතින වර්ෂාවත් සමඟ සියයට 10.5කින් ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහන් කරයි.

මේ මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා වූ 2 වැනි සතියේදී මෙම ඉහළ යෑම සිදුව ඇති බවත් එම සතිය තුළදී රට පුරා ස්ථානවලින් ඩෙංගු ආසාදිතයන් 627ක් වාර්තා වූ බවත් එම වැඩසටහන සඳහන් කරයි.

මේ වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 41,591ක් රට පුරා දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර මරණ 20ක් වාර්තා වී තිබේ.

සමස්ත ආසාදිතයන් 41,591න් සියයට 42.5ක් ලෙස ආසාදිතයන් 17,686ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. ඉන් ආසාදිතයන් 10,460ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 4927ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද 2299ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ. ආසාදිතයන් 4133ක් යාපනය දිස්ත්‍රික්කයෙන් ද 3585ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ද 2591ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද 1665ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද 1872ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් දැනට වාර්තා වී තිබේ.

ඩෙංගු අධිඅවදානම් කලාප 7ක් හඳුනාගෙන ඇති අතර කොළඹ නගර සභා බලප්‍රදේශය, කඩුවෙල, බියගම, කැලණිය, රාගම, යටිනුවර, වෙන්නප්පුව එම අධිඅවදානම් කලාප අතර පවතියි.

කිසියම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

තමා ජීවත් වන අවට පරිසරයේ මදුරුවන් බෝ විය හැකි බවට සැක සහිත ස්ථාන පිරිසුදුව පවත්වා ගැනීමෙන් ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තාවීම අවම කරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.