ඇල්පිටියේ පුංචි ඡන්දය හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අලුතින් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට (26) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 48කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි තේරීම් භාර නිලධාරි ගාල්ල දිසා ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය.

ඒ සඳහා වන ඡන්ද පෙට්ටි හා නිලධාරීන් අනුයුක්ත කිරීම ගාල්ල දිසා ලේකම් කාර්යාලයේ මැතිවරණ කාර්යාලය වෙතින් අද (25) සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ද ඒ මහතා පැවසීය.

ඡන්ද ගණන් කිරීම අදාළ ඡන්ද පොළෙහිම සිදු කරනු ලබන බවත් අවසන් ඡන්ද ප්‍රතිඵලය ගාල්ල දිසා ලේකම් කාර්යාලයේදී එදින මධ්‍යම රාත්‍රි වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ද පැවසීය. මෙම ඡන්දය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය උපයෝගි කර ගන්නා බව ද පැවසීය.