ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර එල්ලකිරීමේ සැලසුමට දෙදෙනෙක් අල්ලයි

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයක් ලෙස සැලකෙන ආරුගම්බේ සංචාරක කලාපය, ඊශ්‍රායල ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන කලාපයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව එම ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇති බවට ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති අතර පසුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා.

ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල පුරවැසියන්ට ජාත්‍යන්තරය විසින් අනතුරු අඟවනු ලැබුවා.