56 මැති­ව­ර­ණ­යෙන් මාත­ලෙන් පාර්ලි­මේ­න්තු­වට ගිය කවියා

ශ්‍රී ලංකාවේ පාර්ලි­මේන්තු ඉති­හා­සය විම­ර්ශ­නය කරන විට නීති වෘත්ති­ක­යන්,  ඉඩම් හිමි වැවි­ලි­ක­රු­වන් මෙන්ම සමා­ජයේ ගෞර­වය දිනා ගත් ප්‍රභූ­ව­රුන් වැඩි­දෙ­නකු මැති සබ­යට පිවි­සීමේ වරම හිමි­ක­ර­ගත් ආකා­රය පෙනී යනු ඇත. එහෙත් 1956 පැවැති තුන්වැනි පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල නිකුත් වීමෙන් පසු එතෙක් පැවැති පාර්ලි­මේ­න්තුවේ සංයු­තිය උඩු­ය­ටි­කුරු කර­මින් සාමාන්‍ය පන්තියේ රාජ්‍ය සේව­ක­යන්,  කවි­යන්,  ලේඛ­ක­යන් මෙන්ම පුව­ත්පත් කලා­වේ­දීන් ද මන්ත්‍රී­ව­රුන් ලෙස දිවු­රුම් දුන් ආකා­රය දැක­ගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාර්ලි­මේන්තු ඉති­හා­සයේ ප්‍රථම වරට අමාත්‍ය පද­වි­ය­කින් සම්මාන ලැබූ කවියා ලෙස දඹුල්ල හිටපු මන්ත්‍රී ටී.බී. තෙන්න­කෝන් මහතා හැඳි­න්විය හැකිය.

දේශීය දේ අගය කළ එතු­මන්ගේ එකම තර්කය වූයේ විදේ­ශීය අධි­රාජ්‍ය ගැති සිරිත් විරිත් අත්හළ යුතු බවය. ඒ අනුව ඔහු එය ක්‍රියා­වෙන්ම ඉටු කර පෙන්වීය. එතු­මන්ගේ ඇඳුම වූයේ ආරිය සිංහල ඇඳු­මය. විශේ­ෂ­යෙන් බණ්ඩා­ර­නා­යක මැති­ඳුන්ගේ නාය­ක­ත්ව­යෙන් ආරම්භ කරන ලද සිංහල මහා සභාවේ මහ­නු­වර ශාඛාවේ ලේක­ම්ව­රයා වූයේ ටී.බී. තෙන්න­කෝන් මහ­තාය. එම තත්ත්වය පසු­කා­ලී­නව ඔහු ජාතික දේශ­පා­ල­නයේ අව­තී­ර්ණ­වී­මට පෙළ­ඹවූ හේතුව බව සඳ­හන් කිරීම වැද­ගත් වේ. සෑම අව­ස්ථා­ව­කම අර­පි­රි­මැ­ස්මෙන් හා ඉතාම නිහ­ත­මානී ලෙස කට­යුතු කළ එතු­මන් දයා­බර සැමි­යෙක් මෙන්ම දරු­වන්ට ඉතා ඇල්මක් දැක්වූ ආද­ර­බර පියකු ද විය.

ටී.බී. තෙන්න­කෝන් පුව­ත්පත් කලා­වේ­දි­යකු ලෙස කට­යුතු කරන අව­ධියේ මහ­නු­වර නගර සභා­වේ දී ඇතිවූ සිදු­වී­මක් සම්බ­න්ධ­යෙන් පළ­ක­රනු ලැබූ වාර්තාව ව්‍යාජ තොර­තුරු මත පද­නම් වූ බව මන්ත්‍රී­ව­ර­යකු චෝදනා නඟනු ලැබීය. මේ චෝද­නාව මත ඇතිවූ වාචික ආර­වුල මත ටී.බී. තෙන්න­කෝන් “මං කවදා හරි නාග­රික මන්ත්‍රී­ව­ර­යෙක් වෙලා මෙහා­ටම ඇවිත් උත්තර දෙනවා”යැයි අභි­යෝ­ගා­ත්ම­කව පවසා ශාලා­වෙන් පිටව ගියේය. ඒ අනුව 1946 වර්ෂයේ මහ­නු­වර මහ­න­ගර සභාවේ දෙයි­ය­න්නෙ­වෙල අසුන නියෝ­ජ­නය කර­මින් දේශ­පා­ල­න­යට පිවිසි ටී.බී. තෙන්න­කෝන් මහතා පාර්ලි­මේ­න්තු­වට තේරී­පත් වන තුරුම එහි මන්ත්‍රී­ව­රයා විය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක මහතා 1951 වස­රේ දී ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂය පිහි­ටු­වී­මේ දී එහි කැඳ­වු­ම්කරු වූයේ ටී.බී. තෙන්න­කෝන් මහ­තාය.

1956 මහ­මැ­ති­ව­ර­ණය ආසන්න වන විට මාතලේ දිස්ත්‍රි­ක්කයේ අපේ­ක්‍ෂ­ක­යකු වූ එච්.බී. තැන්නේ මහතා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ­යට එකතු විය. මේ හේතු­වෙන් ඒ මහතා එම මැති­ව­ර­ණ­යේ දී දඹුල්ල ආස­න­යට තරග කළේ එක්සත් ජාතික පක්‍ෂ­යෙනි. මේ අතර ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂ­යෙන් ඉදි­රි­පත් කළේ ආස­න­යට ආග­න්තුක වූ මහ­නු­වර නගර සභා මන්ත්‍රී­ව­ර­යකු ලෙස සිටි සුප්‍ර­කට කවි­යකු වූ ටී.බී. තෙන්න­කෝන් මහ­තා­වය. තර­ග­යට සිටියේ මේ දෙදෙනා පම­ණය. ඒ අනුව මෙහි දී ඡන්ද 14688 ක් ගත් ටී.බී. තෙන්න­කෝන් මහතා,  එච්.ඩබ්. තැන්නේ මහතා පර­දවා වැඩි ඡන්ද 9155කින් “දඹුල්ල මන්ත්‍රී” ලෙස ජය­ග්‍ර­හ­ණය කළේය. 1959 වර්ෂයේ අග­භා­ගය වන­විට ටී.බී. තෙන්න­කෝන් මහතා සංස්කෘ­තික හා සමාජ සේවා උප ඇමැති ධුර­යට ද පත්විය. එහි මංගල අය­වැය විවා­ද­යේ දී පැවැත්වූ කවි කතාවේ අඩංගු කවි දෙකක් මෙලෙස දැක්විය හැකිය.

අපේ කම්කරු පිරිස වෙනු­වෙන් අර්ථ­සා­ධක මුදල ඇති කර

වහල් බැම්මෙන් මුදා අර­ගෙන සුදුසු විදි­යට පඩි ද වැඩි කර

එප­ම­ණක් නොව තවත් දේවල් එමට ඇත මේ රජය ඉටු කර

එහෙත් තව කෙළ­ව­රක් වී නැත එන්ට එන්ටම වැඩියි කර­දර

බස් සමා­ගම් හා වරා­යත් ගතිමු මහ­ජන රජය යට­තට

ලස්ස ගණ­නින් පාඩු සිදු­වෙයි ඒක හිටියා රටේ කරු­මෙට

උස් අසුන් මත ඉන්න දුන්නොත් තවත් ජන­සතු විරෝ­දීන් හට

හිස් අනා­ග­ත­යක විප­ත්තිය අපට පුළු­වනි සිතා ගන්නට

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී­ව­ර­යකු බවට පත්වූ මෙතුමා 1960  දී ප්‍රවා­හන හා රජයේ වැඩ උප ඇමැති වශ­යෙන් ද,  1963  දී අධ්‍යා­පන උප ඇමැති වශ­යෙන් ද,  සේවය කළේය. ශිෂ්‍ය ගුරු තන­තුරු ඇති කොට විශාල පිරි­ස­කට රැකියා අවස්ථා ලබා දීමට හැකි වූයේ ද මේ කාල­යේ­දීය. 1964 සභාග රජයේ අභ්‍ය­න්තර හා බාහිර වෙ‍ළෙඳාම හා සැප­යීම් පිළි­බඳ උප ඇමැති ලෙස හා 1970 සමගි පෙර­මුණ රජයේ සමාජ සේවා හා සංස්කෘ­තික ඇමැති වශ­යෙන් ද අගනා සේව­යක් කළේය. මහලු නිවාස,  වැඩි­හිටි නිවාස බවට පත් කරන ලද්දේ ද මෙතුමා විසිනි. එමෙන්ම සංස්කෘ­තික උප ඇමැති ධුරයේ සිටින කාල­ප­රි­ච්ඡේ­දයේ යම්කිසි මුග්ධ පිරි­සක් විසින් ලෝක ප්‍රකට සීගිරි බිතු­සි­තු­වම් සූරා තීන්ත පළුදු කොට විකෘති කරන ලදි. මෙසේ විකෘති කරන ලද චිත්‍ර යළිත් ප්‍රකෘති තත්ත්ව­යට පත් කිරීම සඳහා ටී.බී. තෙන්න­කෝන් මහ­තාගේ මැදි­හ­ත්වීම යටතේ රජය විසින් අවශ්‍ය පිය­වර ගනු ලැබිණි. ඒ අනුව ඉතා­ලියේ අති­දක්‍ෂ චිත්‍ර ශිල්පි ලුසි­යානෝ මරෙන්සි ශ්‍රී ලංකා­වට ගෙන්වා එම චිත්‍ර පැරණි කාලයේ තිබූ තත්ත්ව­ය­ටම පත් කිරී­මට කට­යුතු කරන ලදි. මේ කරුණ තුළින් ටී.බී. තෙන්න­කෝන් මහතා කලා­වට දැක්වූ විශේෂ ලැදි­යාව මනාව විද්‍ය­මාන කෙරේ.

විවිධ අමාත්‍ය ධුර දැරූ ටී.බී. තෙන්න­කෝන් මහතා කථා­නා­ය­ක­ව­ර­යාගේ අණ නොතකා අය­වැය විවා­ද­ව­ල දී කවි කතා පවත්වා ඇත. ඒ අනුව දඹුල්ලේ ගොවි­යන්ගේ ජල අර්බු­දය හා එයට පිළි­යම කවි­ය­කින් අනා­වැ­කි­යක් ලෙස කීවේය.

කටු­ග­ස්තො­ට දී මහ­වැලි ගං මන­මාලි

පහ­ළට යානො දී හර­හට බැඳ වේලි

උතු­රට යොමු කරන තීර­ණ­යකි පෝලි

රජ­රට එයින් නංවනු ඇත ජය කේලි

1977 මැති­ව­ර­ණ­යේ දී ටී.බී. තෙන්න­කෝන් මහතා හය වන වතා­ව­ටත් ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂ­යෙන් දඹුල්ල ආස­න­යට ඉදි­රි­පත් විය. ඔහුගේ ප්‍රති­වා­දියා වූයේ එක්සත් ජාතික පක්‍ෂයේ කේ.ඩබ්.ආර්.එම්. ඒක­නා­යක මහ­තාය. මෙම මැති­ව­ර­ණ­යෙන් වැඩි ඡන්ද 24, 793ක් ගත් කේ.ඩබ්.ආර්.එම්. ඒක­නා­යක මහතා,  ටී.බී. තෙන්න­කෝන් මහතා පර­දවා වැඩි ඡන්ද 8829 කින් දඹුල්ල ආස­නය ජය ගත්තේය. මේ අනුව පස් වතා­වක්ම දඹුල්ල ආස­නය ජය­ගත් 1956 සිට දඹුල්ල මන්ත්‍රී ධුරය දැරූ ටී.බී. තෙන්න­කෝන් මහ­තාගේ දේශ­පා­ලන දිවිය ද නිමා විය. එසේම 1980 ජන­වාරි මස 28 වැනි දින ටී.බී. තෙන්න­කෝන් මහතා දැයෙන් සද­හ­ටම සමු­ග­ත්තේය. පසු­කා­ලී­නව ඔහුගේ පුත­ණු­වන් වන යස­රත්න තෙන්න­කෝන්,  තිළිණ බණ්ඩාර තෙන්න­කෝන් හා ජනක බණ්ඩාර තෙන්න­කෝන් යන මහ­ත්ව­රුන් පාර්ලි­මේ­න්තුව තුළ හෙළ කවී­ත්ව­යෙන් කවි­කතා පැවැ­ත්වූහ.