පළාත් සභා විධිමත් කිරීමට යෝජනා දෙන්නැයි ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්

පළාත් සභා යන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය.

පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, ඊට සාධනීය විසඳුම් දීමටද මෙහිදී තීරණය විය. පවතින සංක්‍රාන්ති කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට පළාත් සභාවලින් සිදු කළ හැකි උපරිම සේවාව සැලසීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන් අතර, නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳවද මෙහිදී සිහිපත් කළේය.

ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රජයේ දේපළ භාවිත කිරීමේදී පෙර පැවති නරක පූර්වාදර්ශවලින් මිදී කටයුතු කරන ලෙසත් ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා කැපවෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළේය. උතුරු නැඟෙනහිර පළාත්වල ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර, කන්තලේ ගොවි ජනතාවට දුන් ඉඩම් පිළිබඳවද වධානයට යොමු විය.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.