ගම්මන්පිලගේ පාස්කු වාර්තාවට නීතිමය පියවර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් හෝ බුද්ධි අංශවලින් යම් අතපසුවීමක් සිදුවී තිබේ දැයි සොයා බැලීමට පත් කළ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ වාර්තාවේ ඇති ඇතැම් කරුණු විකෘති කර ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉහළ පොලිස් නිලධාරියකු සූදානම් වන බව පොලිස් තොරතුරු සඳහන් කළේය. සත්‍ය කරුණු විකෘති වීමක් පවා ඒ තුළින් සිදුවී තිබෙන බැවින් තමා ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් පවා ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් ඇතැයි පොලිසියේ මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් පැවසීය.

“පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ එක් දේවස්ථානයක පිහිටි ලිපිනය පවා වැරදියටයි මෙම වාර්තාවේ තියෙන්නේ. ඒ වගේම කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අයත් බලසීමාව පවා වැරදි ලෙසයි එහි සටහන්ව ඇත්තේ. කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළුතර දිස්ත්‍රික්කය අයත් නැහැ. කළුතරත් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අයත් බවයි එහි සටහන්ව තියෙන්නේ. මේ වාර්තාව කාගේ හරි උවමනාවකට කඩිමුඩියේ සකස් කළ එකක් බවයි පෙනී යන්නේ” යැයි එම නිලධාරියා සඳහන් කළේය.

“පාස්කු කොමිසම හමුවේත් මම සාක්ෂි දුන්නා. මේ කියන කමිටුවටත් ගිහින් පැය ගාණක් සාක්ෂි දුන්නා. එම සාක්ෂි පටිගත කෙරෙනවා. එම පටිගත කරපු හඬපට පරීක්ෂා කළොත් මෙම වාර්තාවේ ඇති තොරතුරු සහ හඬපටවල ඇති සාක්ෂි අතර ඇති වෙනස්කම් බොහෝමයක් හඳුනා ගන්න පුළුවන් වේවි” යැයි ද එම නිලධාරියා අවධාරණය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් පෙරේදා (21) ප්‍රකාශ කරනු ලැබුවේ මෙම වාර්තාව බව ද එම නිලධාරියා කීය. අඩුපාඩු සහිත එම වාර්තාවේ ඇති කරුණක් මුල්කරගෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා කරනු ලබන තර්කයන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීමේදී නොකර නිහඬව සිටියේ ඇයි දැයි ගැටලුවක් පවතින බව ද එම නිලධාරියා පෙන්වා දුන්නේය.