ගල් කුහරයක් තුළ උඩුයටිකුරු වී වැටුණු තරුණියක් පැය 7කට පසු මුදාගැනේ

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ මිටියාවතක ගල් කුහරයක් තුළට උඩුයටිකුරු ආකාරයෙන් වැටුණු තරුණියක් පැය 7කට අධික කාලයකට පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත්වීමේ පුවතක් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. එම මිටියාවතේ විශාල පර්වත දෙකක් අතර තිබූ කුහරය තුළටඋඩුයටිකුරු ආකාරයෙන් වැටී ඇත්තේ සිය මිතුරන් සමඟ විනෝදවෙමින් සිටි තරුණියක බවත්, ඇය මේ අනතුරට ලක්වී ඇත්තේ කුහරට තුළට වැටුණු සිය ජංගම දුරකතනය සොයා ගැනීමට උත්සාහ කිරීමේදී බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මැටිල්ඩා කැම්බල් නමැති මේ තරුණිය ජංගම දුරකතනය සොයා ගැනීමට කුහරය තුළට හිස දමා ඇති අතර, එසැනින් ලිස්සා ගොසින් හිස පහළට සිටින ආකාරයෙන් ඇය කුහරය තුළ සිරවී ඇතැයි වාර්තා වේ.

මැටිල්ඩා ඉන් මුදා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු ඇගේ මිතුරන් හදිසි ඇමතුම් ඒකකයට මේ බව දැනුම් දී ඇති අතර, එම ස්ථානයට පැමිණි නිව්සවුත්වේල්ස් ආපදා කණ්ඩායම් සහ පොලිසිය දෙපතුල පමණක් පෙනෙන්නට තිබූ තරුණිය මුදා ගැනීමට පැය 6ක දුෂ්කර මෙහෙයුමක් සිදු කර ඇතැයි වාර්තා වේ.

ඇය මුදා ගැනීම සඳහා කිලෝග්‍රෑම් 500කට අධික බරැති ගල් පර්වත ඉවත් කිරීමට ද මෙහෙයුම් නිලධාරීන්ට සිදුවී ඇති අතර, අවසානයේ සීරීම් තුවාල පමණක් සහිතව මැටිල්ඩා මුදා ගැනීමට ආපදා කණ්ඩායම් සමත්වූ බව වාර්තා වේ. එහෙත් ඇගේ ජංගම දුරකතනය සොයාගත නොහැකි වූ බවද වාර්තා වේ.