පාස්කු දා ප්‍රහාරය ගැන අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා

උදය ගම්මන්පිල මහතා වැන්නවුන්ගේ නිරර්ථක රංගන ඔස්සේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්‍රණයේ සත්‍යය සොයා ගැනීමට හෝ එම සැබෑ අපරාධකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට හෝ එමඟින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි. – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

රවී-ශානි දංගෙඩියට යවන්න හිටපු ජනපතිට ඕනෑ වූවාදැයි සැකයි ජයකී කියන්නේ ලසන්ත ඝාතන පරීක්ෂණ නොමඟ යවන්න හැදුවායැයි චෝදනා එල්ල වූ ප්‍රසන්න අල්විස්ගේ සොහොයුරියයි අද වීරයකු වී සිටින ගම්මන්පිල එදා කරබාගෙන හිටියා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු මුල් කරගෙන පෙරේදා (21) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් බොරැල්ල, අගරදගුරු මැඳුරේදී ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදීය. මේ ම්ලේච්ඡ ප්‍රහාරයට යුක්තිය සාධාරණය ඉටු විය යුතු බව එහිදී සඳහන් කළ අගරදගුරු හිමිපාණෝ ඊට දේශපාලනයවත්, පුද්ගලයාවත් වැදගත් නොවන බව අවධාරණය කළහ. නිරහංකාර සරල ගති පැවැතුම් ඇති ගැමි පුද්ගලයකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවද උන් වහන්සේ පැවැසූහ.

මෙහිදී මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන් වහන්සේ කියා සිටියේ තමන්ට අමතර ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවයි. “අපව ආරක්ෂා කරන්නේ උඩ සිටින අයයි. අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්සු. අපි දුම්රියවල බස්වල ගිය අය. දැන් වාහනවල යන්නේ එදිනෙදා කරන වැඩවලට අවශ්‍ය වන නිසයි” යනුවෙන්ද උන් වහන්සේ කියා සිටියහ. “ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම ගැන අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහතාගේ සොහොයුරිය වන ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මිය මේ කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කරමින් ළබැඳියාවන් අතර ගැටුමක් නිතැනින්ම මතු වන බව පැහැදිලි කරුණක්. ඒ නිසා එවැන්නකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක් නැහැ.

එම නිසා අපි මේ වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙමු” යැයි මෙහිදී කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය.

පාස්කු දින බෝම්බ ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන්නැයි කතෝලික සභාව කළ ඉල්ලීම එවකට ඉවත දැමූ බව ද උන්වහන්සේ පැවසූහ. එකල එසේ කටයුතු කළ උදය ගම්මන්පිල මහතා අද තමන්ට තැපෑලෙන් ලැබුණේ යැයි කියන වාර්තාවක් ඉදිරිපත් කිරීම නාටකයක් යැයිද කියා සිටියහ.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළහ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඒ.එම්.ජේ. ද අල්විස් කමිටු වාර්තාව ශ්‍රී ලංකා රදගුරු සංගමයට ලබා දී ඇති බවත් එම වාර්තාව රහසිගත වාර්තාවක් ලෙස සඳහන් කර ඇති නිසා රහසිගතව තබා ගැනීමට කටයුතු කළ බවත් නිවේදනයේ දැක්විණි. එම වාර්තාව රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර හිර කිරීමට සකස් කළ වාර්තාවක් දැයි සැකයක් මතු වන බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියහ. ඒ.එන්.ජේ. ද අල්විස් කමිටුව දුන් ත්‍රිපුද්ගල වාර්තාව අප පිළිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ උදය ගම්මන්පිල කාගේ හෝ කොන්ත්‍රාත් එකක් කරන බව හැඟෙන බවත්, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනතාවගේ දුක වේදනාව ප්‍රයෝජනයට ගෙන මැතිවරණ ජයගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව වැටහෙන බවත් පැවසූහ.

එම නිසා අපි මේ වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙමු” යැයි මෙහිදී කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය.

පාස්කු දින බෝම්බ ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන්නැයි කතෝලික සභාව කළ ඉල්ලීම එවකට ඉවත දැමූ බව ද උන්වහන්සේ පැවසූහ. එකල එසේ කටයුතු කළ උදය ගම්මන්පිල මහතා අද තමන්ට තැපෑලෙන් ලැබුණේ යැයි කියන වාර්තාවක් ඉදිරිපත් කිරීම නාටකයක් යැයිද කියා සිටියහ.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළහ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඒ.එම්.ජේ. ද අල්විස් කමිටු වාර්තාව ශ්‍රී ලංකා රදගුරු සංගමයට ලබා දී ඇති බවත් එම වාර්තාව රහසිගත වාර්තාවක් ලෙස සඳහන් කර ඇති නිසා රහසිගතව තබා ගැනීමට කටයුතු කළ බවත් නිවේදනයේ දැක්විණි. එම වාර්තාව රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර හිර කිරීමට සකස් කළ වාර්තාවක් දැයි සැකයක් මතු වන බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියහ. ඒ.එන්.ජේ. ද අල්විස් කමිටුව දුන් ත්‍රිපුද්ගල වාර්තාව අප පිළිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ උදය ගම්මන්පිල කාගේ හෝ කොන්ත්‍රාත් එකක් කරන බව හැඟෙන බවත්, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනතාවගේ දුක වේදනාව ප්‍රයෝජනයට ගෙන මැතිවරණ ජයගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව වැටහෙන බවත් පැවසූහ.

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ විමර්ශන අරඹයා දැනට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කොළඹ අගරදගුරු පදවිය වෙනුවෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාස්කු දින බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ කරුණු දෙකක් පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටු දෙකක වාර්තා දෙකක් පිළිබඳව මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතා බහක් නිර්මාණය වී තිබෙන බව පෙනී යයි.

එම කමිටු දෙක වන්නේ:

1. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ලැබී තිබූ බුද්ධි තොරතුරු පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි අංශයේ (CNI) ප්‍රධානියා සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද

2. බ්‍රිතාන්‍යයේ වැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය කරන ලද වාර්තා වැඩසටහන මඟින් එළිදරව් වූ කරුණු පිළිබඳව සොයා බැලීමට, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද

මේ කමිටු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන් වාර්තා අතරින් ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තාව හිටපු ජනාධිපති ලේකම් විසින් 2024 සැප්තැම්බර් 18 වැනි දින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන් වෙත ලබා දී තිබේ. එම වාර්තාව සමඟ එවූ ලිපියේ සඳහන් කර ඇත්තේ, එම වාර්තා ‘රහසිගත (confidential) වාර්තා බවයි. ඒ හේතුව නිසා එම වාර්තාවල අඩංගු කරුණු කිසිවක් කතෝලික සභාව විසින් මේ දක්වා හෙළිදරව් කිරීමෙන් වැළකී සිටි බව මෙහිලා අවධාරණය කරමු. එහෙත්, වැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශනය වූ වැඩසටහනේ දී එළිදරව් වූ කරුණු පිළිබඳ සොයා බැලීමට පත් කළ එස්.අයි. ඉමාම් කමිටුවේ වාර්තාව මේ දක්වා අප වෙත ලැබී නැත.

හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙර එම වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇති බව හිටපු ජනාධිපති ලේකම්වරයා විසින් තමන්ට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර මහතා පසුගියදා කටුනායක පැවැති මැතිවරණ රැලියකදී ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තා කළේය.

ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාව පිළිබඳව අපගේ මතය:

1. මේ වාර්තාවේ අන්තර්ගත වන්නේ පාස්කු දින ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ලද බුද්ධි තොරතුර පිළිබඳව වගකීම් විරහිතව ක්‍රියා කළ නිලධාරීන් කිහිපදෙනෙකු පිළිබඳ විමර්ශනයන් සහ කමිටුවේ නිර්දේශය.

මේ කරුණ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මඟින් ද අදාළ පුද්ගලයන් ගණනාවකගේ සාක්ෂි කැඳවා ඒවා පිළිබඳ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අදාළ නිලධාරීන් ගණනාවකට විරුද්ධව නිර්දේශ ඉදිරිපත් කර ඇති බව දැන් බොහෝ දෙනකු දන්නා කරුණකි.

ඒ.එන්.ජේ. ද අල්විස් කමිටුව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති නිලධාරීන් බොහෝ දෙනෙකු ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මඟින් නිර්දේශ ඉදිරිපත් කර ඇති නිලධාරීන්ම ය. එ‌හෙත් අපරාධ විමර්ශන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රාජ්‍ය ආරක්ෂාව සහ සාමය අමාත්‍යාංශයේ වත්මන් ලේකම් රවී සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහත්වරුන් පිළිබඳ විමර්ශන සහ නිර්දේශ මේ කමිටුව විසින් තම වාර්තාවට එක් කොට තිබේ.

ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ද රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් කැඳවා, ඔවුන්ගෙන් සාක්ෂි විමසා ඒ සාක්ෂි විමර්ශනය කර තිබුණ ද,වගකීම් පැහැර හැරීමේ චෝදනා සහ නිර්දේශ ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර නැති බව ද මෙහිලා සඳහන් කළ යුතුය.

ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ කාරණය පිළිබඳව විමර්ශනය කර ඉදිරිපත් කර තිබූ එකම නිර්දේශයක්වත් ක්‍රියාත්මක කිරීමට කිසිම උනන්දුවක් නොදැක්වූ හිටපු ජනාධිපතිවරයා විසින් ඒ සඳහාම තවත් අලුත් කමිටුවක් පත් කිරීමේ එකම පරමාර්ථය වූයේ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනාගේම නම් මේ ලයිස්තුවට ඇතුළත් කර ඔවුන්ට විරුද්ධව දේශපාලනික පළිගැනීමක් කිරීමදෝ යැයි අපට සැකයක් ඇත.

2. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පාස්කු දින ප්‍රහාරය පිළිබඳව මාස 18ක් විමර්ශන සිදු කළේය. එහෙත්, ජයකි ද අල්විස් කමිටුව සියලු විමර්ශන මාස 3කින් නිමා කර තිබේ. ජනාධිපතිවරණයට පෙර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාව ලබාදීමට ජයකි ද අල්විස් කමිටුවට තිබූ හදිසිය සහ උනන්දුව මෙයින් පෙනී යයි.

සාක්ෂිකරුවන් කිසිවකුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට කිසිම නීතිඥයකුට ඉඩ ලබා දී නැත. සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසිම නීතිඥවරයකුට අවසර දී නැත.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දී කතෝලික සභාව නියෝජනය කිරීමට නීතිඥවරුන්ට අවස්ථාව ලබා දී තිබුණ ද, ජයකි ද අල්විස් කමිටුව ඒ අවස්ථාව අපට ලබා නොදුන්නේය. මේ කමිටු ක්‍රියාකාරකම් පොදු ජනතාවට හෝ ජනමාධ්‍යයට විවෘත කර නොතිබිණි. එය දොරගුලු දැමූ කුටියක් තුළ සිදුවූ විමර්ශනයක් බඳු විය.

මේ සියලු කාරණා දෙස බලද්දී ජයකි ද අල්විස් කොමිටියේ කිසිම විනිවිදභාවයක් හෝ සාධාරණභාවයක් කිසිම ලෙසකින් අපි නොදකිමු. එවන් විනිවිදභාවයකින් සහ සාධාරණත්වයකින් තොර පරිසරයක ලියැවී ඇති මේ කමිටු වාර්තාව අපි පිළි නොගන්නා අතර එය තරයේ ප්‍රතික්ෂේප කරමු.

3. ජයකි ද අල්විස් හිටපු මහාධිකරණ විනිසුරුවරිය මේ කමිටුවේ ප්‍රධානත්වයට පත් කිරීම ද එක්තරා ආකාරයකින් ගැටලු මතුකරන කාරණයකි. ජයකි ද අල්විස් විනිසුරුවරිය යනු එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද අල්විස් මහතාගේ සොහොයුරියයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සංස්කාරක ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ නොමඟ යවන්නට කටයුතු කළ බවට ඔහුට විරුද්ධව චෝදනා නැඟී ඇති අතර, ඒ පිළිබඳව හේතු දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවමින්,දෙපාර්තමේන්තු නියෝග නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න අල්විස් මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිට ඇති අතර, සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම යටතේ ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් පැවරිය හැකි ද යන්න පිළිබඳව සොයා බලන මෙන් සෙනෙවිරත්න මහතා නීතිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබේ. ඒ කිසිවක් මේ දක්වාම ක්‍රියාත්මක වූ බවට තොරතුරු නැත.

පාස්කු දින ප්‍රහාරය පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කිරීමේ වගකීම වත්මන් රජය විසින් පවරා ඇත්තේ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනා වෙතය. එපමණක් නොව, දැනට යට ගසා ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු දේශපාලන ඝාතන ගණනාවක විමර්ශන කටයුතු නැවත ආරම්භ කර අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ මූලික වගකීම් පවරා ඇත්තේ ද මේ නිලධාරීන් දෙදෙනාටය.

මෙවැනි තත්ත්වයක් තුළ, ඝාතන විමර්ශනයන්හිදි සාක්ෂි වසන් කිරීම හා විභාග කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහතාගේ සොයුරිය වන ජයකි ද අල්විස් මහත්මියට මේ කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් ළබැඳියාවන් අතර ගැටුමක් නිතැතින්ම මතුවන බව පැහැදිලි කරුණකි.

එහෙයින් එවැන්නකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කරන වාර්තාවක් අපක්ෂපාතී සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක් නැත.එහෙයින් අපි මේ වාර්තාව මුළුමනින් ම ප්‍රතික්ෂේප කරමු.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නාටකය පිළිබඳ අපගේ මතය:

ඉහත කී වාර්තා දෙක තමන්ට එවූ බවත් වත්මන් ජනාධිපතිවරයා එම වාර්තා ජනගත නොකරන නිසා වාර්තා දෙක ජනගත කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු විශාල ඝෝෂාවක් නඟා,රංගනයක් ඉදිරිපත් කොට ඊයේ ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ වාර්තා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.

* පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අද වීරයකු ලෙස පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් මහා වේදනාවකින් සහ කම්පනයකින් කතා කරන උදය ගම්මන්පිල මහතා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක් දැරීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතට පත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ජනගත කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරද්දී ඔහු ඒ වෙනුවෙන් කිසිවිටෙක ඉදිරිපත් වී හඬ නැඟුවේ නැත.

* ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබියදීත් තම වගකීම් පැහැර හැරිය බවට චෝදනාවට ලක්කොට, ඔවුන්ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කොට තිබූ උසස් පොලිස් නිලධාරීන් (උදා: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි) එම ධුරවලින් ඉවත් කළ යුතු යැයි උදය ගම්මන්පිල මහතා කිසිවිටෙක ප්‍රකාශ නොකළ අතර ගෝඨාභය රාජපක්ෂ රජය සහ රනිල් වික්‍රමසිංහ රජය විසින් ඔවුන්ට උසස්වීම් ලබාදීමේදී උදය ගම්මන්පිල මහතා කරබාගෙන නිශ්ශබ්දව සිටියේය.

* හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් පාස්කු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ අඩංගු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කිරීමට හිටපු ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද සය පුද්ගල කමිටුව ද උදය ගම්මන්පිල මහතා සාමාජිකයකු විය. අප දන්නා තරමින් එම කමිටු වාර්තාව කිසි දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීය. එම කමිටුව වාර්තාවක් සකස් කළේ ද, එසේ නම් එය හිටපු ජනාධිපතිවරයාට භාර දුන්නේ ද යන්න මේ දක්වා ජනතාවට ප්‍රකාශ කර නැත. අද පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳව කිඹුල් කඳුළු හෙළමින්, සැඟවු වාර්තා පිළිබඳව ඝෝෂාකාරී නාටක රඟන උදය ගම්මන්පිල මහතා, එදා තමන් සාමාජිකයකු වූ මේ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හෝ ජනගත නොකළ එම කමිටු වාර්තාව පිළිබඳව හෝ වචනයක්වත් කතා නොකර නිහඬව සිටියේය.

* පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිට අවසන් පාර්ලිමේන්තුව දක්වාම පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකුව, මන්ත්‍රීවරයකුව සිටි උදය ගම්මන්පිල මහතා, පාස්කු දින ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සහ රෝගාතුර වූ මේ රටේ සියලු ජාතීන්ට, සියලු ආගම්වලට අයත් අහිංසක දූ දරුවන් සහ මිනිසුන් වෙනුවෙන්, එහි සත්‍යය සොයා, යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් මේ දක්වාම කිසිම හඬක් නොනඟා, නිශ්ශබ්දව සිට, හිටි හැටියේ ම නින්දෙන් ඇහැරුණා සේ රඟන්නට පටන්ගෙන ඇත්තේ කුමක් අරමුණු කරගෙන දැයි මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳින් අවබෝධ කරගෙන තිබෙන බව අපට සැක නැත.

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු නව රජය විසින් පාස්කු දින ප්‍රහාරය සහ තවත් ම්ලේච්ඡ දේශපාලන ඝාතන ගණනාවක විධිමත් පරීක්‍ෂණ සිදු කිරීම ආරම්භ කර තිබීම නිසා භීතියට පත්ව ඇති අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා එම පරීක්‍ෂණ කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුවක් උදය ගම්මන්පිල මහතා විසින් සිදු කරන්නේ ද යන සැකය අප තුළ මෙන් ම මේ රටේ බුද්ධිමත් පොදු ජනතාව තුළ ද ඇති වෙන බව අපි දනිමු.

පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළා ඔවුන්ට යුක්තිය ඉටුකර දීම වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට තමන් සූදානම් යැයි ප්‍රෝඩාකාරී වීරකමක් පෙන්වා ළඟ එන මහමැතිවරණයේදී ඡන්දදායකයන් රවටා ඡන්දය ලබා ගැනීමේ මහා වංචාකාරි උත්සාහයක උදය ගම්මන්පිල මහතා නියැළෙන බව ඉතාම පැහැදිලිය.

එහෙත් මේ රටේ ජනතාව ගම්මන්පිල මහතා සිතනවාට වඩා බොහෝ බුද්ධිමත් බව අපි විශ්වාස කරමු. උදය ගම්මන්පිල මහතා වැන්නන්ගේ මේ නාටකයේ යටි අරමුණ කුමක් දැයි අවබෝධ කර ගැනීමට ඔවුන් සමත් බව අපි විශ්වාස කරමු.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යටි අරමුණු සහිතව පත් කළා යැයි අපට හැඟී යන පිළිගත නොහැකි කමිටු මඟින් ඉදිරිපත් කර ඇති වාර්තා මගින් සහ උදය ගම්මන්පිල මහතා වැන්නවුන්ගේ නිරර්ථක රංගන ඔස්සේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්‍රණයේ සත්‍යය සොයා ගැනීමට හෝ එම සැබෑ අපරාධකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට හෝ එමඟින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ:

1. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම්දී තුන් දිනකින් එවකට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මූලික විමර්ශන භාරව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ස්ථාන මාරුවක් ලබාදී පසුව එම විමර්ශන කටයුතුවල නියැළී සිටි විමර්ශන නිලධාරීන් 20කට අධික පිරිසකට ද ස්ථාන මාරු ලබාදීමෙන් ඇණහිටි විමර්ශන, අපක්ෂපාතීව, ස්වාධීනව විනිවිද පෙනෙන ආකාරයෙන් ඉදිරියට ගෙනයෑම.

2. ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ඇති ඇතැම් හිඩැස් සහ අඳුරු තැන් පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීම.

3. ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව එළිදැක්වීමෙන් කාලයකට පසුව හෙළිදරව් වූ තොරතුරු (උදා: දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් පිටතට පැමිණි සැක සහිත ලොරිය පිළිබඳව, චැනල් ෆෝ නාළිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහනින් හෙළිදරව් වූ සංවේදී තොරතුරු ආදිය) පිළිබඳව විධිමත් අපක්ෂපාතී සහ විනිවිද බවින් යුතු විමර්ශන සිදු කිරීම.

4. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම. මේ මහා ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස ඇත්තේ දේශපාලන බලය ලබා ගැනීමේ තිරිසන් කුමන්ත්‍රණයක් බව අප මෙන් ම මේ රටේ යුක්තිගරුක සහ සාධාරණ අතිශය බහුතරයක් ජනතාව ද විශ්වාස කරන බව පැහැදිලි කරුණකි. මේ මහා අපරාධකරුවන් හෙළිදරව් කරගෙන, ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීම හුදෙක් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීමක් පමණක් නොවේ.

මේ රටේ කාලයක සිට ක්‍රියාත්මක වන කුරිරු ඝාතන දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් ම වෙනස් කොට, අප ආදරණීය මව්බිමේ විනාශ වී ඇති නීතියේ ආධිපත්‍යය යළිත් ස්ථාපිත වනු දැකීම අපගේ අපේක්ෂාවයි.

5 එහෙයින්, ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ඝාතන සහ 2008 – 2009 අතර කාලයේ දමිළ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම මෙන් ම කීත් නොයාර් සහ එක්නැලිගොඩ පැහැරගෙන ගොස් වද හිංසා කිරීම සහ අතුරුදන් කිරීම, උතුරු නැඟෙනහිර යුද්ධයේදී අතුරුදන්වී මේ වනතුරු කිසිම තොරතුරක් නොමැති පුද්ගලයන් පිළිබඳ සිද්ධීන් වැනි මේ රටේ සිදු වූ දේශපාලන ඝාතන, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීමේ ආදී අපරාධ පිළිබඳව ද විධිමත් සහ අපක්ෂපාතී විමර්ශන සිදුකොට, එම සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.

බලය ලබා ගැනීමට සහ රැක ගැනීමට මිනිස් ඝාතන සිදු කිරීමේ ම්ලේච්ජ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය රජයන රටක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ මේ දුෂ්කර ව්‍යායාමය සාර්ථක වුවොත් පමණක්ය යන්න අපගේ විශ්වාසයයි.

මේ ම්ලේච්ඡ ඝාතන පිළිබඳ ස්වාධීන අපක්ෂපාතී සහ විනිවිද බවින් යුතු විමර්ශන ඇණ හිටියේ ද, ඒවාට බාධා සිදු වූයේ ද දේශපාලනඥයන් සහ ඔවුන්ගේ අතකොළු බවට පත්වූ නිලධාරීන්ගේ ඇඟිලි ගැසීම් සහ මැදිහත්වීම් නිසා බව දැන් මුළු රට ම දන්නා කරුණකි.