ග්‍රාමීය ජනතාව ක්‍රමානුකූලව දුප්පත්කමින් මුදා ගැනීමට සැලසුම් ක්‍රියාත්මකයි

පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ බලය අපි ජනතාවට දුන්නා:

කාර්යක්ෂම රාජ්‍ය සේවයකට ඩිජිටල්කරණ අමාත්‍යාංශයක්:

ඡන්දයක් තිබෙන බවක්වත් ඡන්දයක් තිබුණු බවක්වත් පේනවාද? නෑ: ඒවා තමයි වෙනස්කම් කියන්නේ

ජනාධිපතිවරණයේ ජනවරම තවදුරටත් සහතික කරන්න මැතිසබය මාලිමාවෙන් පුරවන්න

අපේ ජයග්‍රහණයේ පදනම ඔබේ විශ්වාසයයි – අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය

ග්‍රාමීය ජනතාව ක්‍රමානුකූලව දුප්පත්කමින් මුදා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඩිජිටල්කරණය සඳහා අලුත් අමාත්‍යාංශයක් ගොඩනඟා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“අපට සාම්ප්‍රදායික ලෙස ඉස්සරහට යන්න බැහැ. බස් එකක ටිකට් එකක් ගන්න, පෝලිමේ ඉඳලා ටිකට් එකක් ගන්න, තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉඳලා ෆැන්ෂන් එක ගන්න, උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක් ගන්න රස්තියාදු වෙන ක්‍රමය, ඉඩම් ඔප්පුවේ කොපියක් ගන්න, අයිඩෙන්ටියක් ගන්න දැන් තිබෙන්නේ පැරණි ක්‍රම. අපි මේවා කාර්යක්ෂම කරන්න ඕනෑ. බදු ගෙවන අයට ගෙදර සිට බදු ගෙවන්න, මේ සියල්ල ඩිජිටල්කරණය කරනවා. ඒක ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක්. ඒ ක්ෂේත්‍රයේ ලංකාවේ ඉන්න අත්දැකීම් ඇති, ඒ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතෙක්, විශාල වැටුපක් ලබන ඔහු සියල්ල අත්හැරලා ස්වේච්ඡාවෙන් ලංකාව ඩිජිටල්කරණය සඳහා මැදිහත්වීමට සූදානමින් ඉන්නවා” යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වූ ජාතික ජන බලවේගයේ හෝමාගම රැලියට පසුගියදා (20) සහභාගි වෙමිනි.

ඉදිරි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ගිය ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ විශාලම ප්‍රතිඵලය ගෙනත් දුන්නේ හෝමාගම ආසනයෙන්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අපේ ගමනේ පළමු පියවර තබා තිබෙනවා. අපට ඉස්සරහට යන්න ශක්තිමත් පියවරක් අවශ්‍යයි. නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් බලයක් මාලිමාව අරගත යුතුයි.

මේ පාර්ලිමේන්තුව ගැන ජනතාවට තිබෙන්නේ යහපත් අදහසක් නොවෙයි. ඕනෑම ව්‍යසනයක් රටේ සිදුවෙන විට ජනතාව ප්‍රාර්ථනා කරන්නේ ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට කඩාපාත් වුණා නම් හොඳයි කියලා. මෙයින් අදහස් වුණේ පාර්ලිමේන්තුව ජනතාවට අප්‍රසන්න තැනක් වී තිබුණු බවයි. මේ විරෝධය තිබුණේ පාර්ලිමේන්තුවේ සිටි කණ්ඩායමට එරෙහිවයි. හැබැයි මේ කණ්ඩායම පාර්ලිමේන්තුවට බලෙන් ගියේ නැහැ. මේ අය යැව්වේ ජනතාව. ජනතාව තමන් විසින්ම යවන ලද කණ්ඩායමට කෙටි කාලයකින් ව්‍යසනයක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ජනතාවට මේ අය යවන කොට යම්කිසි අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තිබුණා. නමුත් සිදුවුණේ ජනතාවගේ පැතුම්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්.

පාර්ලිමේන්තුවට ගෙනාවා කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගයක්. ඒ අවස්ථාවේ කෙහෙළිය නිවැරදිකරුවෙක් කියා පාර්ලිමේන්තුව සම්මත කළා. නමුත් එළියේ කෙහෙළිය වංචනිකයෙක් වෙනවා. ඇතුළේ ශුද්ධවන්තයෙක් වෙනවා. එහෙම වෙලාවට ජනතාවට හිතෙනවා මේ පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගෙන් පිරුණු තැනක් නේද කියලා. 2015-2019 ආණ්ඩුව කාලයේ, හිටපු මුදල් ඇමැතිවරයා මහ බැංකු වංචාවත් එක්ක තිබුණු සබඳතාවන් හෙළිකර පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙනාවා. පාර්ලිමේන්තුව ඔහු සුද්දවන්තයෙක් කරනවා. රටේ ජනතාව ඔහු වංචනිකයෙක් බව දන්නවා. ජනතාව හිතනවා පාර්ලිමේන්තුව ජනතාවට එරෙහි පැත්තේ ඉන්න බව. සත්තුවත්ත පාසල් සිසුන්ට විවෘත වුණත්, පාර්ලිමේන්තුව කාලයක් පාසල් සිසුන්ට තහනම් කර තිබුණා. මෙවැනි තත්ත්ව නිසා පාර්ලිමේන්තුවට එරෙහිව ජනතාවගේ විරෝධයක් ගොඩනැඟෙනවා. පාර්ලිමේන්තුව ජනතාවගේ නියෝජිත ආයතනය වුණාට, උත්තරීතර යැයි කිවුවාට, ජනතාවට එරෙහිව කටයුතු කරන, උත්තරීතර නොවන ස්ථානයක් බව ජනතාව දන්නවා.

වංචනිකයන්, අපරාධකරුවන් නීතිය අවභාවිතයේ යොදවන්නන්, බලය යොදාගෙන දේපොළ අයිතිකර ගන්නන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබෙන බව ජනතාව දන්නවා. එතකොට ජනතාව “ගංවතුරටවත් ගිලෙන්නේ නැහැනේ, කොරෝනා පොකුරවත් එන්නේ නැහැනේ” කියනවා. ඒ එකක්වත් සිදුවෙන දේත් නොවෙයි. සිදු කළ යුතු දේත් නොවෙයි. කළ යුත්තේ මේ පාර්ලිමේන්තුව පිරිසුදු කරන එක. දැන් පාර්ලිමේන්තුව පිරිසුදු කරන්න ඕනෑ. නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ මහා ශ්‍රමදානය යෙදෙන දවස. හැබැයි දැන් සමහරු ස්වේච්ඡාවෙන් පිරිසුදු වෙලා. හිටපු 225න් හැටකට වැඩි ගණනක් ඉල්ලන්නේවත් නැහැ. මේ පාර්ලිමේන්තුව පිරිසුදු කරන්න නම්, අවංක, අදූෂිත, ධෛර්යසම්පන්න, මේ රට ගොඩනැඟීමට අධිෂ්ඨානය තිබෙන, එකමුතුකම තිබෙන, විකිණෙන්නේ නැති, එහෙට මෙහෙට පනින්නේ නැති මිනිසුන් ඉන්න මාලිමාවේ අපේක්ෂකයන්ගෙන් නොවැම්බර් 14දා පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. ජනාධිපතිවරයා සතු බලතල උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. ජනතාව අතට පිරිසුදු කිරීමේ බලය ලබාදී තිබෙනවා.

අපි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු, කුඩා කැබිනට් මණ්ඩලයක් හදා තිබෙනවා. අපට තිබුණා මේ රට ස්ථාවරභාවයට ගෙන ඒමේ අභියෝගය. ලංකා ඉතිහාසයේ ආණ්ඩු බල හුවමාරුවකින් පස්සේ රටේ යම් අස්ථාවරභාවයක් නිර්මාණය වෙනවා. පත්කිරීම් ආදිය ගැන දෙගිඩියාවක් ඇති වෙනවා. හැබැයි මේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සතියක් දෙකක්වත් අවිනිශ්චිතතාවකින් මේ රට ඉස්සරහට යන්න බැහැ. එවැනි විශාල ආර්ථික කඩාවැටීමක අපි ඉන්නවා. වැටිච්චි ආර්ථිකයක් බව ගන්නකොටත් අපි දන්නවා. කුඩා හෝ කම්පනයක් අපේ ආර්ථිකයට දරා ගන්න බැහැ. ආර්ථිකයේ කටයුතුවල නියැළෙන අය අතර විශ්වාසවන්තභාවය හදන්නේ කොහොමද කියන අභියෝගය ආරම්භයේ සිටම තිබුණා. අපි මොකක් කරයිද කියා දෙගිඩියාවෙන් සිටි කණ්ඩායමක් සිටියා. අපට ආයෝජකයන් කෙරෙහි විශ්වාසවන්තභාවය තහවුරු කළ යුතුව තිබුණා. ප්‍රතිවාදීන් විසින් අපි කෙරෙහි මහා සැකයක්, අවිනිශ්චිතතාවක්, සමාජගත කර තිබුණා. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. කුඩා කම්පනයකටවත් ඔරොත්තු නොදෙන ආර්ථික දේහයක් තිබුණේ. ඉතා ඉක්මන් කෙටි කාලයකින්, ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමත්, ආර්ථිකයට දායක වන කණ්ඩායම් අතර විශ්වාසය තහවුරු කිරීමත් අපට අභියෝගයක් වුණා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කළා.

කොටස් වෙළෙඳපොළේ යම් දෙගිඩියාවක් තිබුණා. හැබැයි ශක්තිමත්ව හා වේගවත්ව වර්ධනය වෙන කොටස් වෙළෙඳපොළේ යන්ත්‍රණය අපි ශක්තිමත් කළා. තෙල්, ගෑස්, විදුලිය, කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය සේවා බිඳවැටීමට ඉඩ නොදී පවත්වාගෙන යෑමට අවශ්‍ය මැදිහත්වීම කළා. අපේ ව්‍යාපාරික ප්‍රජාව, කර්මාන්තකරුවන්, විදෙස්ගත ආයෝජකයන්, අපේ ආර්ථිකය කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා තිබෙනවා. ප්‍රධාන ගැටලු දෙකකට අපි මුහුණ දී තිබුණා. මේ සීසන් එක සංචාරක කර්මාන්තයේ ආරම්භක සීසන් එක. නමුත් පසුගිය ආණ්ඩුව විශාල වීසා ගැටලුවක් නිර්මාණය කර තිබුණා. ඔන්ලයින් වීසා ලබාදීම නතර වී තිබුණා. පෝලිම් නිර්මාණය වෙලා තිබුණා. සංචාරකයන් හෝටල් බුක් කරන එක නතර වී තිබුණා. සංචාරක කර්මාන්තය අවදානමකට මුහුණ දී තිබුණා. අදාළ ඇමැති ලෙස විජිත හේරත් සහෝදරයා මැදිහත් වෙලා අපි ඉතා කෙටි දවසකින් වීසා අර්බුදය විසඳලා නැවත ශ්‍රී ලංකාවේ ආයතනයක් වෙත වීසා නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමයට මාරු කළා. හෝටල්කරුවන්, සංචාරක කර්මාන්තයේ නියැළෙන අය කීවා, ඉක්මනින්ම මෙය විසඳන්න. එසේ නොවුණහොත් කඩා වැටීමේ අනතුරක් තිබෙන බව. අපි එය දින දෙක තුනක් ඇතුළත විසඳුවා. ඊළඟට අප හමුවේ තිබුණේ 20දා වන විට ලංකාවේ එක පාස්පෝට් එකක්වත් නැහැ. ඒ වගේ පැටලිලි ගොඩක් සහිත රටක් අප හමුවේ තිබුණේ. පාස්පෝට් ලබාදීපු ටෙන්ඩර් අධිකරණයෙන් අත්හිටුවා තිබුණා. පාස්පෝට් එක ටෙන්ඩරයෙන් ලබාදුන්කෙනාට, හිස් පොත දෙන්න පුළුවන්. ප්‍රින්ට් කරන්න විදිහක් නැහැ. සෑම පාස්පෝට් එකකම පෞද්ගලික අනන්‍යතාව මුද්‍රණය කරන්න ඕනෑ. නමුත් මුද්‍රණය කරන්න ක්‍රමයක් නැහැ. 20දා වන විට පාස්පෝට් ඉවරයි. ඒක රටේ ලොක්ඩවුන් තත්ත්වයක්. අලුත් පාස්පෝට් එකක් ගන්න බැරි තත්ත්වයක්. අපි මැදිහත්වෙලා ඒ ප්‍රශ්නය මුළුමනින්ම නිරාකරණය කළා. පෝලිම් නැතිවෙන තත්ත්වයක් ඇති කළා.

ඒ වගේම මහ කන්නය පටන් ගන්න නියමිතව තිබුණා. මහ කන්නය ආරම්භයේදීම පොහොර සහනාධාරය දුන්නේ නැත්නම්, වැඩක් නැහැ. අපි තීන්දුවක් ගත්තා හෙක්ටයාරයක් සඳහා ලබාදෙන රුපියල් 15000ක පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. ආරම්භයේදීම මැතිවරණ කොමිසම එය අත්හිටෙව්වා. හැබැයි අදාළ ආයතන මැදිහත් වෙලා පොහොර සහනාධාරය ලබාදීම කළා. අපේ රටේ විශ්‍රාමික ප්‍රජාව විශාල ගැටලුවකට මුහුණ දී තිබුණා. රුපියල් 3000ක දීමනාවක් ලබාදිය යුතුයි කියා තීන්දුවක් අරගෙන තිබුණා. ඔක්තෝබර් මාසයේ සිට දෙන්න සැලසුම් කළත් එය අපහසු වුණා. නමුත් 21දා ඔක්තෝබර් මාසයට නොලැබුණු හිඟ මුදලත් සමඟ ඒ දීමනාව බැංකු ගිණුම්වලට ලැබෙන්න අපි සැලසුම් කළා. ඒ වගේම අපේ ධීවර යාත්‍රා තෙල් මිල වැඩි නිසා මුහුදු යන්නේ නැහැ. ඒ නිසා ධීවරයාට ඉන්ධනවලට සහනාධාරයක් දිය යුතුයි. ඒ අනුව ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට අපි කටයුතු කළා. ආර්ථිකය ස්ථාවර කර ගනිමින් ආර්ථිකය ගොඩනැංවීමට අවශ්‍ය සහන ලබාදෙමින් සිටිනවා. දෙසැම්බර් මාසයට ඉදිරිපත් කළ යුතු අය වැය ලේඛනය පාර්ලිමේන්තු ක්‍රමවේදයට අනුව ඉදිරිපත් කළ නොහැකියි. ඒ නිසා අපි දෙසැම්බර් මාසයේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගන්නවා. මාර්තු මාසයට පෙර අලුත් අය වැය ලේඛනයක් සම්මත කර ගන්නවා. ඒ අය වැය ලේඛනයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරනවා. පාසල් දුවා දරුවන්ට පාසල් උපකරණ ලබාගන්න අමතර දීමනාවක් ලබා දීමට අවධානය යොමු කරනවා.

අපි අලුත් ව්‍යාපෘතියක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පරිසරය පැත්තෙන් පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියට විශේෂ ජනාධිපති කාර්යසාධන බළකායක් ගොඩනඟා, පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට, මෙන්ම මේ රටේ ඒ සඳහා දායක විය හැකි සියලුම දෙනාටත් ආරාධනා කරනවා ඒ සඳහා දායක විය හැකි අරමුදලක් නිර්මාණය කරන්න. සෑම ගඟක්, ඇළක්, වෙරළක්, පාරක්, මාවතක් ඇතුළු සෑම ස්ථානයක්ම පිරිසුදුභාවයට ගේනවා. ආසියානු කලාපයේ පිරිසුදුම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අපේක්ෂාවෙන් අපි වැඩ කරනවා. පිරිසුදු වැසිකිළියක්, පිරිසුදු බස් නැවතුම්පොළක්, පිරිසුදු දුම්රිය ස්ථානයක්, පිරිසුදු දුම්රියක්, පිරිසුදු බස්රියක්, පුරවැසියන්ට අනෙකා පිළිබඳ ළෙන්ගතුභාවය, සිනාවෙන් සලකන, යහපත් පිළිගැනීමෙන් සලකන සමාජයක් ගොඩනැඟීම අපේ අරමුණයි. පරිසරය පැත්තෙන් පමණක් නොවෙයි සෑම පැත්තකින්ම පිරිසුදු වූ සමාජයක් ගොඩනැඟීම “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනවා.

අපේ රටේ ආර්ථිකය නංවන වැදගත් ක්ෂේත්‍රයක් තමයි සංචාරක කර්මාන්තය. ලෝකයේ ව්‍යසනකාරී තත්ත්වයක් වැනි අහිතකර තත්ත්වයක් ඇති නොවුණොත්, වැඩිම සංචාරකයන් ආ වසර බවට 2025 වසර අපි පත් කරනවා. එයාර්පෝට් එක විශාල කරනවා. අපි අපේක්ෂා කරන සංචාරකයන් ප්‍රමාණයක් එනවා නම් පැය 2 1/2ක් එයාර්පෝට් එකේ ඉන්න වෙනවා. එයාර්පෝට් එකේ සංවර්ධන ව්‍යාපෘතිය නතර වුණා. ජපානයේ තානාපතිතුමා සමඟ කතා කර නැවත එම ව්‍යාපෘතිය ආරම්භ කර අපේ දෙවැනි පර්යන්තය ලොකු කරන ව්‍යාපෘතිය ආරම්භ කළා. ඉතා කෙටිකලකින් එය අවසන් කරනවා. සංචාරක කර්මාන්තයේ නියැළෙන බොහෝ දෙනත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා අපේ කාර්යය ඉස්සරහට ගේන්න.

නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න ඕනෑ. අපරාධකරුවන්, දූෂිතයන් පිළිබඳ කටයුතු කරන්න ඕනෑ. මේ ආයතන විධිමත් කරගන්න ඕනෑ. ආයතනවලින් පලවා හැර ඇති නිසි නිලධාරීන්ට ඒ ආයතන පවරන්න ඕනෑ. ඒ රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කරන්න ඕනෑ. ඒ වගේම බොහෝ පරීක්ෂණ නතර වෙලා තිබෙන්නේ. ඒවා හඳුනාගෙන තිබෙනවා. අපරාධ පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව, මේ රටේ ජනතාව තබා ඇති විශ්වාසය ඉටුකරන බවට ඔබට සහතික වෙනවා. අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදන්න ඕනෑ.

අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය-

අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරවීමට ඒ ඓතිහාසික තීන්දුව ගත් මේ රටේ ජනතාවට මම මුලින්ම ආචාරය පුද කරනවා. මේ රට මෙතෙක් කරවූ පාලකයන් කිසිදාක සිතුවේ නැති ඒ ඓතිහාසික වෙනස කළේ, ඊට දායක වුණේ ඔබ සියලු දෙනායි. ඔබ මේ ජයග්‍රහණය අපට දුන්නේ අනුර සහෝදරයාත් අපි පිළිබඳවත් විශාල විශ්වාසයක් තබලයි. අපේ ජයග්‍රහණයේ පදනම ඔබේ ඒ විශ්වාසයයි. ඒ නිසා අපි නැවත වතාවක් ඔබට කියන්නේ ඔබ අපි කෙරෙහි තබපු විශ්වාසය එලෙසම රකින්න අපි සියලු දෙනාම බැඳී සිටිනවා. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. ඒ විශ්වාසය තමයි අපට ශක්තිය දෙන්නේ. ඒ විශ්වාසය මත තමයි අපි මේ රට ගොඩනඟන්නේ.

අපේ වේදිකාවේ ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂ අපේක්ෂක කණ්ඩායම සමඟ එකට සිටීමට හැකිවීමම මම ලැබූ ලොකු භාග්‍යයක්. කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ අපේ රටේ සියලුම ප්‍රශ්න නියෝජනය කරන තැනක්. අපි හිතුවට කොළඹ තමයි දියුණුම, සංවර්ධනයෙන් ඉහළම තැන තිබෙන දිස්ත්‍රික්කය කියලා මුළු රටේම තිබෙන ප්‍රශ්න සියල්ලමත් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. සංවර්ධනයෙන් ලබාගත් ජයග්‍රහණ වගේම අසමානතා ද කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙනවා. ලංකාවේ තිබෙන හොඳම පාසල් වගේම යටිතල පහසුකම් නැති, ගුරුවරු හරිහැටි නැති පාසල් ද මේ කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙනවා. රෝහල්වල තත්ත්වය ද එයමයි. ලංකාවේ ඉන්න පොහොසත්ම ශ්‍රී ලාංකිකයා වගේම දුප්පත්ම ශ්‍රී ලාංකිකයා ද මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නවා. සියලු පුරවැසියන්ගේ සමානාත්මතාව රකිමින් සංවර්ධනය කරන්න බැරි වූ දිස්ත්‍රික්කයක් තමයි කොළඹ දිස්ත්‍රික්කය. පැය 24ක් වැස්සොත් මේ දිස්ත්‍රික්කයේ පාරවල් යටවෙනවා. ගෙවල්වලට වතුර දානවා. මෙච්චර කලක් ගතවෙලත් තවම කොළඹ දිස්ත්‍රිකයේ ගංවතුර ප්‍රශ්නය විසඳගන්න බැරිවෙලා තිබෙනවා.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම්, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක චන්දන සූරියආරච්චි මහතා-

රටම නව පුනරුදයකට යොමු වෙමින් ඉදිරි ජයග්‍රහණය සඳහා පෙළ ගැසෙමින් සිටින මොහොතක් මේ උදාවෙලා තිබෙන්නේ. දශක 7ක් මේ රට පාලනය කරපු පාලකයන් මේ රටේ ජනතාව රැවැට්ටුවා. වැඩ කරන ජනතාව රැවැට්ටුවා. ඒ ජනතාවගේ කරමතින් ගොස් බලය ගත් පාලකයන් හැමදාම වැජඹුණා. සැප වින්දා. මේ රටේ පීඩිත ජනතාවට තම ජීවිත අහිමි කළා. දශක ගණනාවක් මේ පාලකයන් ගෙන ගිය පීඩාකාරී පාලනයට එරෙහිව මේ රටේ ජනතාව පොරබැදුවා. සටන් කළා. මේ ක්‍රමය වෙනස් කිරීමට. අද එම උත්සාහය මල්පල දරමින් තිබෙනවා. ඒ අපේක්ෂාව ජයග්‍රහණය කරන්න අපට පුළුවන්කම ලැබුණා. සැප්තැම්බර් 21 වැනිදා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරවමින් ආරම්භක පියවර තැබුවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සමන්මලී ගුණසිංහ මහත්මිය-

අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට කටයුතු කරන සියලු දෙනාට අප හිස නමා ආචාර කරනවා. අපේ ආදරණිය සහෝදරියන් එක මිටකට එක්වී ගෙයක් ගෙයක් ගාණේ ගොස් රටට වෙනසක් ගෙනෙන්න විශාල කැපවීමක් කළා. මහමැතිවරණයට ඇත්තේ තව පුංචි කාලයයි. ඒ කාලයේ මාලිමාව සමඟ අත්වැල් බැඳගත්තේ නැති ජනතාව සමඟ අප කතා කළ යුතුයි.

ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය සනත් විමලසිරි මහතා-

මේ රට යහපත් දිසාවකට ගෙන යාමට මෙහි රැස්ව සිටින සහෝදර සහෝදරියන් කැපවී සිටිනවා. රට නිවැරදි දිසාවකට ගෙන යාම සඳහා ඔවුන් ක්‍රියා කරනවා. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු වී හමාරයි. මේ රටේ ජනතාවට රජවරු, රැජිනියො, ආර්යාවන් එපා වෙලා සිටියේ. මිනිසුන්ට ආදරය කරන ආදරණීය මිනිස්සු අපට දැන් සිටිනවා.