ආණමඩුවේ ඔරලෝසු කණුවේ බැඳ ඇති බඹර කූඩු ජන ජීවිතයට පීඩාවක්

ආණමඩුව නගරය මැද පිහිටි හෝරා ස්ථම්භයේ මාස ගණනාවක සිට බැඳ ඇති බඹර කූඩු කීපයක් හේතුවෙන් නගරයට පැමිණෙන හා නගරයේ පදිංචිකරුවන්ට මහත් බියක් ඇති කර ජීවිත අවදානමකට ලක්කර ඇතැයි ජනතාව පවසති.

ආණමඩුව හෝරා ස්ථම්භය 1988 ගම්උදාව වෙනුවෙන් ඉදිකළ සුවිශේෂත්වයෙන් යුත් එකක් වන අතර එය නගරයේ දිශා හතරටම මුහුණලා ඉදිකර ඇත්තේ නගරයට අලංකාරයක් එක්කරමිනි.

කෙසේ නමුත් මෙම හෝරා ස්ථම්භයේ දැවැන්ත ඔරලෝසුවද නිරන්තරයෙන් ආපදාවන්ට ලක්ව තිබෙන පසුබිමක දැවැන්ත බඹර කූඩු කීපයක් බැඳ තිබීමෙන් ජනතාව දැඩි අවදානමකට ලක්කර ඇති ආකාරය දැක ගත හැකිය. නිරන්තරයෙන් ජනතාව රැඳී සිටින නගරයක මෙලෙස ජනතාව අවදානමකට ලක් කිරීම බරපතළ තත්ත්වයක් බව ඔවුන් පවසයි. ජනතාව පවසන්නේ උකුස්සන් හා වෙනත් පක්ෂීන් මෙම බඹර කූඩුවට කොටා පියාසර කිරීම හේතුවෙන් මෙසේ මෙම බඹර කූඩුවේ බඹරුන් නිතර ඇවිස්සි අවට පියාඹමින් සිටින බව අවට පිරිස පවසති.

නගරයේ ප්‍රධාන පාසල් දෙකක් මෙම හෝරා ස්ථම්භය ආසන්නයේ පිහිටා ඇති අතර එම පාසල් දෙකෙහි සිසු සිසුවියන් 6000කට ආසන්න පිරිසක් ද අධ්‍යාපනය හදාරන පසුබිමක දරුවන්ගේ ජීවිතද දැඩි අවදානමක දමා ඇති බව ඔවුන් පෙන්වා දෙති.

කෙසේ නමුත් මෙම බඹර කූඩු කඩිනමින් ඉවත් කිරීමට වගකිව යුතු බලධාරීන් නිසි අවධානය යොමු කළ යුතු බව ජනතාව පවසයි.