ඊශ්‍රායල ප්‍රහාරයෙන් උතුරු ගාසා තීරයේ 87ක් මරුට

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් උතුරු ගාසා තීරයේ පුද්ගලයන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එම කලාපයේ පරිපාලනය බාර හමාස් සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම වාර්තාව පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බවත්, මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ගැන හමාස් සංවිධානය සාවද්‍ය පුවත් පතුරුවා හරින බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මධ්‍යයේ වුවද ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අඛණ්ඩව සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර ඇති අතර, ගාසා තීරයේ ආරක්ෂිත බවට සහතික කළ හැකි කිසිදු ස්ථානයක් නැති බව මැද පෙරදිග සාම වැඩසටහනේ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් උතුරු ගාසා තීරයේ රෝහලකට ද දරුණු හානි සිදුවී ඇති අතර, රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන ලෙස එම රෝහලේ වෛද්‍යවරුන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.