අපක්ෂපාති පරීක්ෂණයක් වෙනුවෙන් ජනපතිට ඉල්ලීමක්

වසර 24කට ඉහතදී යාපනයේදී ඝාතනයට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම්ගේ 24 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් උතුරු නැගෙනහිර මාධ්‍ය සංගම් එක්ව පෙරේදා 19 සමරු වැඩසටහන් ගණානාවක්ම ක්‍රියාත්මක කොට තිබිණි.

ඒ සමරු වැඩසටහන්වලින් පසුව නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස නව ජනාධිපතිවරයාට මාධ්‍ය සංගම් විසින් විශේෂ ඉල්ලීම් යොමු කිරීමද මෙහිදී සිදු කෙරිණි.

නිමලරාජන් මයිල්වාගනම් ප්‍රාදේශීය මාධ්‍යවේදියා ඝාතනයට ලක් වූයේ යාපනයට ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවක ආරක්ෂක කඳවුරු දෙකක් මැද ඔහුගේ නිවෙසේ ඔහු රැඳී සිටි අවස්ථාවේදීය. නිවෙසට බෝම්බ ප්‍රහාර එල්ල කොට පසුව වෙඩි තබා ඔහුව ඝාතනය කෙරුණු අතර, ඝාතනය සඳහා පැමිණි බවට සැක කරන අයකුගේ පාපැදියක්ද නිවෙස අසල තිබී හමු විණි. ඒ ඔස්සේ පරීක්ෂණ කළ පොලීසිය ඊ.පී.ඩී.පී. සංවිධානයේ සාමාජිකයන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන් සියලු දෙනා මේ වන විට නිදහස ලබා ඇත්තේ නිමලරාජන්ගේ ඝාතනය ඇසින් දුටු සාක්ෂි නොවීම හේතුවෙනි.