හිටපු වරාය ඇමැති රෝහිතගේ බෑනාගේ ලියාපදිංචි නොකළ වාහන 2ක් මහනුවරදී අල්ලයි

පසුගිය රජය සමයේ වරාය හා නාවික ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් දැරූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනකු බව කියන මහනුවර ප්‍රධානපෙළේ වාහන සේල් හිමියකුගේ පුත්‍රයකුට අයත් අනිවත්තේ පිහිටි නිවාස පරිශ්‍රයක සඟවා තිබූ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (20) පස්වරුවේ පොලිස් භාරයට ගෙන තිබේ. රුපියල් කෝටි හයකට වැඩි වටිනාකමින් යුත් මෙම වාහන දෙක ලියාපදිංචි කර නොමැති බවත් වාහනවලට අදාළ වෙනත් කිසිදු ලියවිල්ලක් හෝ පොලිසියට ඉදිරිපත් කිරීමට ඒවා සන්තකයේ තබාගත් පුද්ගලයා අපොහොසත් වූ බවත් පොලිසිය පවසයි.

තීරුබදු නොගෙවා වරායෙන් රහසිගතව මෙම වාහන පිටකර තිබෙන බවට පොලිසිය සැක කරයි. මෙම වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරු හිටපු ආමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නියෝජනය කර තිබෙන බවට ලද තොරතුරක් ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෝටර් රථ දෙක පොලිසිය භාරයට ගෙන තිබෙන අතර එම වාහන දෙක සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සැකකටයුතු වාහන දෙකක් අරුප්පල නිවසක තිබෙන බවට 1997 අංකයට කළ දැනුම් දීමකට අනුව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇත.