පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සඟවන්න ඇතැමුන් ක්‍රියා කරනවා-ජනපති කටුනායකදී කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබාදීමත් සමඟ කොමා වෙලා සිටිය අය අවදි වී, විධිමත් විමර්ශනයට බිය වී කූට වුවමනා වෙනුවෙන් එය කඩාකප්පල් කිරීමටත්, ඊට අකුල් හෙළන්නටත්, ඇත්ත දිසාව වෙනස් කිරීමටත්, වෙනත් සමාජ මතයක් නිර්මාණය කිරීමටත් කූට වුවමනාවෙන් කටයුතු කරන බව පෙන්වා දෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ අය කටයුතු කරනු ලබන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සොයා ගැනීම සඳහා වූ වුවමනාවෙන් නොව, සැබෑ අපරාධකරුවන් සැඟවීමට කුලී කොන්ත්‍රාත් එකක් බැවින් ඒවාට යට නොවී පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කර රටේ ජනතාවට ඇත්ත හෙළිකරන බව අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න, පාස්කු ප්‍රහාරය ගැන මතුර මතුර ගිය කට්ටිය, කුරුණෑගල මහ රෝහලේ ගර්භාශ යුද්ධයක් තියෙනවා කියල ජාතිවාදය වපුරපු අය අවුරුදු 05කට පස්සෙ, නැවත කොමා තත්ත්වයෙන් අවදිවෙලා යැයිද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කරනු ලැබුවේ ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය කටුනායක දී ඊයේ (20) සංවිධානයකර තිබූ ජන රැලියක් අමතමිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ ද සඳහන් කළේය.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණය සඳහා අවශ්‍යවන සුදුසු දෙපාර්තමේන්තුවක් බවට අප පරිවර්තනය කර තිබෙනවා. අපට හම්බ වුණේ පොලිස්පතිවරයෙක් නැති පොලිසියක්. අප ඉතා වැදගත් මහත්තයෙක් පොලිස්පති තනතුරට පත්කර තිබෙනවා. අප මහජන අමාත්‍යාංශය භාර ලේකම්වරයා ලෙස කීර්තිමත් ඉතිහාසක් තිබෙන මහත්මයෙක් පත් කළා. අප මේ වැලලීගිය පරීක්ෂණ විධිමත්ව සිදුකිරීම සඳහා ආයතන පද්ධතිය සක්‍රිය කර තිබෙනවා.

ඒ පිළිබඳ කට්ටිය කලබල වෙලා. 2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න, පාස්කු ප්‍රහාරය මතුර මතුර ගිය කට්ටිය, 2019 ජාතිවාදය වපුරලා කුරුණෑගල මහ රෝහලේ ගර්භාෂ යුද්ධයක් තියෙනවා කියල, ජාතිවාදය වපුරපු අය අවුරුදු 05කට පස්සෙ, නැවත කොමා තත්ත්වයෙන් අවදිවෙලා. දැන් අවදිවෙලා තියනවා අර වාර්තාව දෙන්න. මේ වාර්තාව දෙන්න කියා.

ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා. එකක් රනිල් වික්‍රමසිංහ චැනල් -4 නාලිකාවේ ගිය විඩියෝ පට පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කිසිසේත්ම විමර්ශන කමිටුවක් නොවේ. කමිටුවක් පත්කර වාර්තාවක් ලබා දී තිබෙනවා. දෙවැනි එක පාස්කු ප්‍රහාරයේ දී ආරක්ෂක අංශවලින් යම් වැරැද්දක් සිදුවුනාද කියා සොයා බලන්න තව කමිටුවත් පත් කර තිබෙනවා. ඒ දෙකම විමර්ශන කමිටු නොවේ. රනිල් වික්‍රමසිංහ පත් කරන ලද කමිටු. ඒ කමිටු දෙක විසින් වාර්තාවක් ලබා දී තිබෙනවා. ඒ වාර්තාව ලබා දුන්නෙ රනිල් වික්‍රමසිංහ පාලනයට.

මම එනකොට හිටපු ජනාධිපති ලේකම්වරයාට කතා කොට කීවා ඒ වාර්තාවලට සිදුවුණේ මොකක්ද කියා. ඔහු මට කීවා එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබෙනවා. මහජන අරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර තිබෙන බව. අනෙක් වාර්තාවත් තව වාර්තාවක්. නීතිපතිවරයාට යොමුකර තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයාට යොමුකර තිබෙනවා. ඒ වගේම අගරදගුරු මණ්ඩලයේ ලේකම් රඳගුරුතුමාටත් රඳගුරු මණ්ඩලය වෙනුවෙන් යොමුකර තිබෙනවා. මේ වාර්තා කිසිවක් රහස් වාර්තා නොවේ. එ්වා අදාළ ආයතන වෙත යොමු කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සමහර කමිටු හැදුවෙ මේ පරීක්ෂණය ඇත්ත දිසාවට යොමු කිරීමට නොවේ, යටපත් කිරීමට. එම උවමනාවෙන් තමා සමහර කමිටු නිර්මාණය කළේ, අපි බලය අරගෙන ඉතා කෙටි දවසකින් පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දුන්නා පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන්න කියා. අන්න එතකොට කෝමා වෙලා සිටිය අය අවධි වුනා. විධිමත් පරීක්ෂණයට බයයි.

එය කඩාකප්පල් කරන්න ඕනෙ, අකුල් හෙලන්න ඕනෙ. ඇත්ත දිසාව වෙනස් කරන්න ඕනෙ. වෙන සමාජ මතයක් නිර්මානය කරන්න ඕනෙ. මෙන්න මේ කූට උවමනාව වෙනුවෙන් කොමා වෙලා ඉන්න අය අවදි වෙලා. හොඳට තේරුම් ගන්න මේ පුද්ගලයාගේ මැදිහත්වීම තියෙන්නෙ පාස්කු ප්‍රහාරය සැබැ වරදකරුවන් සොයා ගැනීම සඳහා වුවමනාව නොවේ. ඔහුගේ උවමනාව තිබෙන්නෙ, සැබැ වරදකරුවන් සඟවන්න. ඒ ගොල්ලන්ගෙ කුලී කොන්ත්‍රාත් එකක් මේ ඉටු කරන්නෙ. අප ඒවාට යට වෙන්නෙ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කරල මේ රටේ ජනතාවට ඇත්ත හෙලිදරව් කරනවා.

අපිට මොනවද හංගන්න තියෙන්නෙ. අපට කවුද බේරන්න තියෙන්නෙ. හංගන්න ඉන්නෙ ඒ ගොල්ලන්ට. බේරන්න ඉන්නෙ ඒ ගොල්ලන්ට. ඒ නිසා මතක තබා ගන්න නැවත ඒ සෙල්ලම් කරන්න පුළුවන් 2015 රනිල් වික්‍රමසිංහත් එක්ක. කිසි දෙයක් හරියට කර ගන්න ඉඩ නොදී පෙරලන පෙරලන බාල්දියට පැටලි පැටලී වැටි වැටී තමයි රනිල් වික්‍රමසිංහ ගමන් කළේ, 2015. මතක තියා ගන්න මේ ජාතික ජන බලවේගයේ අපි පෙරලන බාල්දිවලට පැටලෙන්නෙත් නැහැ. බාල්දි පෙරලන අයට ඉඩ දෙන්නෙත් නැහැ. මේ පරීක්ෂණය විධිමත්ව ක්‍රියාත්මක වෙනකොට එය අඩපන කිරීම සඳහා සැබෑ වග උත්තරකරුවන් සැඟවීම සඳහා නැවත කුමන්ත්‍රණකරුවන් එළියට ඇවිල්ලා තිබෙනවා. එයට ඉඩ නොදෙන බවට මම සහතිකයක් දෙනවා.