‘ජයන්ට් ස්නේක්හෙඩ්’ මිනිස් පරිභෝජනයට සුදුසුයි ලු

දැදුරු ඔය ජලාශය ආශ්‍රිතව පසුගිය කාලයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ “ජයන්ට් ස්නෙක්හෙඩ්” (Giant snakehead) ආක්‍රමණශීලී
මත්ස්‍ය විශේෂය ජලාශයේ සෙසු මත්ස්‍යය ව්‍යාප්තියට හානිකර වුවද මිනිස් පරිභෝජනයට සුදුසු මත්සයකු බව ජල ජීවී අධිකාරි නිලධාරීන් අවධාරණය කර ඇත.

එසේ වුවද ජලාශය ආශ්‍රිත ධීවරයින් එක් වාරයකට රුපියල් ලක්‍ෂ දාහතරකට ආසන්න මත්ස්‍ය පැටවුන් ප්‍රමාණයක් ජලාශයට මුදා හරින බව වාර්තා වුවද මේ වනවිට එම මත්ස්‍යයෙන් ජලාශය තුළ දක්නට නොමැති වීමෙන් මෙම ආගන්තුක මත්ස්‍යයා විසින් ඔවුන් ආහාරයට ගෙන ඇති බවට සාක්ෂි සඳහන්ව ඇතැයිද මේ සම්බන්ධයෙන් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අනාවරණය වී තිබේ.

මෙම මසුන් ව්‍යාප්තව ඇති දැදුරු ඔය ජලාශයේ ධීවර තොටුපළ තුනක් ආශ්‍රිතව පසුගිය 18 වැනිදා දවස පුරා ජල ජීවී අධිකාරියේ නිළධාරින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් එම මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් ජලාශයෙන් ඉවත් කිරීමට හැකි විය. එහෙත් ඒ සඳහා භාවිතා කෙරුණු ආම්පන්නවල පැවති දුර්වලතා හේතුවෙන් සැලකිය යුතු මත්ස්‍ය ගහනයක් හසුකර ගැනීමට ඔවුහු අසමත් වූහ.

තොටුපළ ආශ්‍රිත ධීවරයින් සමග වයඹ පලාත් ධීවර අමාත්‍යංශ නිලධාරීන්, ජල ජීවී අධිකාරියේ නිලධාරින් හා ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහූ එක්ව මෙම මෙහෙයුම දියත් කොට තිබිනි.

මෙම මෙහෙයුමේදී අල්ලා ගන්න ලද මසුන් අහාරයට සුදුසු පරිදි සකස් කිරීම ගනේවත්ත – කැකුළාවල තොටුපොළෙහි දී සිදු කෙරුණු අතර එහි පැමිණ සිටි නිලධාරීහු සහ ධීවර ප්‍රජාව විසින් ඒම සැකසූ මසුන් අනුභව කොට මෙම මත්ස්‍යයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍යයින් නොවන බවට තහවුරු කළහ.

මෙම ආක්‍රමණික මත්සයින් ජලාශයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී වෙනත් කිසිදු මත්ස්‍යයෙකු එම දැල් ආම්පන්නවලට හසු නොවීමද මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් වූ අතර අදාළ ආක්‍රමණික මත්ස්‍ය විශේෂය විසින් ජලාශයේ සෙසු මත්ස්‍ය ගහනයට විශාල ලෙස හානි සිදු කර ඇති අයුරු පැහැදිලිවන බවද ජල ජීවී අධිකාරියේ නිලධාරින් තහවුරු කළහ.

මේ අනුව වහාම මෙම ආක්‍රමණික මත්ස්‍ය විශේෂය ජලාශයෙන් සහමුලින්ම ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ධීවරයන් නිළධාරින් ගෙන් ඉල්ලීමක් කළ අතර ඒසේ නොකළහොත් ඉදිරියේ දී ජලාශය තුළ මෙම මත්ස්‍යයෙන් හැර වෙනත් කිසිදු මත්ස්‍යයෙකුට ව්‍යාප්‍ත වීමට ඉඩ නොලැබෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.