දුෂාන් හේමන්තගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකා ‘ඒ’ පිල සහභාගි වූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම හමුවේ ලකුණු 11කින් පරාජයට පත් විය.
ඕමානයේ අල් ඇමරට් ක්රීඩාංගණයේ ඊයේ රාත්රියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගන් ‘ඒ’ පිල කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඕවර 19.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 155ක් පමණි.
නායක නුවනිඳු ප්රනාන්දු පන්දු 32කින් ලකුණු 51ක් රැස් කරමින් කණ්ඩායම ජයග්රාහී මාවතට රැගෙන යෑමට උත්සාහ කළ අතර, ඔහුට සහායක් ලැබුණේ අහන් වික්රමසිංහගෙන් පමණි. අහන් පන්දු 18කින් ලකුණු 31ක් රැස් කළේය. ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 13ක් තුළ බිඳ වැටීමෙන් ශ්රී ලංකා පිලෙන් ජයග්රහණය ගිලිහී ගියේය. පන්දු යැවීමේදී ෆරිඩෝන් ඩාවුඩ්සායි කඩුලු 3ක්, මොහොමඩ් ගසන්ෆර් සහ බිලාල් සාමි කඩුලු 2 බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගන් ඉනිමට වේගවත් ආරම්භයක් දුන් සෙදිකුල්ලාහ් අටල් සහ සුබයිඩ් අක්බාරි පළමු කඩුල්ලට ලකුණු 142ක් එක් කළේ පන්දු 95කිනි. පන්දු 46කින් ලකුණු 83ක් රැස් කළ අටල් දවා ගනිමින් එම සබඳතාව බිඳ දැමීමට දුෂාන් හේමන්ත සමත් වූ අතර, අක්බාරි ලකුණු 57ක් ලබා සිටියදී දුවද්දි දැවී යෑමට හසු විය.
සෙසු කඩුලු 5 බිඳ දමමින් ඇෆ්ගන් ඉනිම ලකුනු 166කින් නතර කිරීමට දුෂාන්ට හැකි විය. ඔහු ඕවර 4දී ලකුණු 23ක් පමණක් දෙමින් කඩුලු 6 දවා ගත්තේය. එය ඔහුගේ හොඳම විස්සයි20 පන්දු යැවීම විය.
ශ්රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය හෙට හොංකොං පිලට එරෙහිව පැවැත්වේ.
ඇෆ්ගන් ‘ඒ’ – 166/7 (ඕවර 20) සෙදිකුල්ලාහ් අටල් 83, සුබයිඩ් අක්බාරි 57 (දුෂාන් හේමන්ත 23/6)
ශ්රී ලංකා ‘ඒ’ – 155 (ඕවර 19.3) නුවනිඳු ප්රනාන්දු 51 (ෆරිඩෝන් ඩාවුඩ්සායි 40/3, මොහොමඩ් ගසන්ෆර් 19/2, බිලාල් සාමි 19/2)