අප­රා­ජිත එක්දින වාර්තාව රැක ගැනී­මට සනත්-චරිත් සැල­සුම් හදති-පළමු තර­ගය හෙට පස්වරු 2.30ට

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට (20) පස්වරු 2.30ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි.

මේ තර­ගා­ව­ලි­යේදී පුහු­ණු­කරු සනත් ජය­සූ­රි­යට මෙන්ම නායක චරිත් අස­ලං­කට ද කොදෙව් පිල හමුවේ අප­රා­ජිත එක්දින තර­ගා­වලි වාර්තාව ඉදි­රි­යට ගෙන­යෑමේ දැවැන්ත අභි­යෝ­ග­යක් එල්ලවී තිබේ.

කොදෙව් පිල මෙතෙක් ශ්‍රී ලංකා­වේදී ද්වීපා­ර්ශ්වික එක්දින තර­ගා­ව­ලි­යක් ජය ගැනී­මට සමත්ව නැති අතර, මෙවර විස්සයි20 තර­ගා­ව­ලිය පරා­ජය හේතු­වෙන් ඔවුන් එක්දින තර­ගා­ව­ලිය ජය ගැනී­මට හැකි සෑම උත්සා­හ­යක්ම දරනු ඇත. කොදෙව් පිල මෙර­ටදී ක්‍රීඩා කළ ද්වීපා­ර්ශ්වික එක්දින තර­ගා­වලි 4න් 1993 වසරේ කොළඹ පැවති එක්දින තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සමව නිමා කර­ගෙන තිබේ. අව­සන් වරට 2020ත් ඉන් පෙර 2015දීත් පැවති තරග 3කින් සම­න්විත තර­ගා­වලි ද්විත්වය ශ්‍රී ලංකා පිල ජය­ගෙන ඇත්තේ 3-0ක් ලෙසිනි.

දෙපිල අතර මෙතෙක් එක්දින තරග 64ක් පවත්වා ඇති අතර, ඉන් තරග 31ක් කොදෙව් පිලත් තරග 30ක් ශ්‍රී ලංකා­වත් ජය­ගෙන තිබේ.

එක්දින තර­ගා­ව­ලිය සඳහා චරිත් අස­ලං­කගේ නාය­ක­ත්ව­යෙන් ක්‍රීඩ­ක­යන් 16 දෙන­කු­ගෙන් යුත් සංචි­ත­යක් නම් කර ඇති අතර, චමිඳු වික්‍ර­ම­සිංහ පළමු වරට එක්දින පිලට කැඳවා ඇති අතර, මොහො­මඩ් සිරාස් ද එක්කර තිබේ. අව­සන් වරට පැවති ඉන්දි­යා­වට එරෙහි එක්දින තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ චාමික කරු­ණා­රත්න, අකිල ධනං­ජය සහ මතීෂ පති­ර­ණට ස්ථාන අහි­මිවී තිබේ.

මේ අතර පෙරේදා පැවති තෙවැනි විස්සයි20 තර­ග­යේදී ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශංක ආබා­ධ­යක් සහි­තව ක්‍රීඩා කර ඇති අතර, තර­ග­යෙන් අන­තු­රුව පැවති මාධ්‍ය හමු­වේදී නායක චරිත් අස­ලංක පැව­සුවේ ආබා­ධ­යක් තිබු­ණත් ඔහු ලොකු කැප කිරී­මක් කර­මින් තර­ග­යට ක්‍රීඩා කළ බවයි. ඔහුට ලොකු ආබාධ තත්ත්ව­යක් නැතැයි සිතන අතර, පැතුම් හෙට තර­ග­යට ක්‍රීඩා කරනු ඇති බවට තමා විශ්වාස කරන බව නාය­කයා පැව­සීය.

කොදෙව් කණ්ඩා­යම ෂායි හෝප්ගේ නාය­ක­ත්ව­යෙන් සහ අල්සාරි ජෝසප්ගේ උප නාය­ක­ත්ව­යෙන් මේ තර­ගා­ව­ලි­යට එක්වෙයි.

එවින් ලුවිස් වසර 3කට පසු එක්දින සංචි­ත­යට කැඳවා ඇති අතර, 17 හැවි­රිදි ජුවෙල් ඇන්ඩෘද පළමු වරට සංචි­ත­යට එක්ව සිටී. ඔහු හෙට තර­ග­යේදී ජාත්‍ය­න්තර තරග වරම් හිමි­කර ගැනී­මට සමත් වුව­හොත් ඔහු බට­හිර ඉන්දීය කොදෙව් පිල වෙනු­වෙන් ජගත් තරග වරම් ලැබූ ළාබා­ලම ක්‍රීඩ­කයා ලෙස වාර්තා අත­රට එක් වනු ඇත‍. ‍බ්‍රෙන්ඩන් කිං සහ ෂර්ෆාන් රද­ර්ෆර්ඩ් වස­ර­කට පසුව යළි කණ්ඩා­ය­මට කැඳ­වා ඇත.

ශ්‍රී ලංකා සංචි­තය – චරිත් අස­ලංක (නායක)‍, පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලිය­නගේ, සදීර සම­ර­වි­ක්‍රම, නිශාන් මධුෂ්ක, දුනිත් වෙල්ලා­ලගේ, වනිඳු හස­රංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍ර­ම­සිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදු­ෂංක, මොහො­මඩ් සිරාස්.

කොදෙව් සංචි­තය – ෂායි හෝප් (නායක), අල්සාරි ජෝසප් (උප නායක), ජුවෙල් ඇන්ඩෘෘ, ඇලික් අත­නාසේ, කීසි කාර්ටි, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂමර් ජෝසප්, බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩ­කේෂ් මෝටි, ෂර්ෆාන් රද­ර්ෆර්ඩ්, ජේඩන් සීල්ස්, රොමා­රියෝ ෂෙපර්ඩ්, හේඩන් වෝල්ෂ් (ජූනි­යර්).