නවවැනි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වූ කාලපරිච්ඡේදය තුළ ස්ථාවර නියෝගවලට අනුකූලව කාරක සභා 74 ක් පිහිටුවා තිබූ අතර, එම කාරක සභා මඟින් වාර්තා 131ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ස්ථාවර නියෝග ප්‍රකාරව පිහිටුවා තිබූ කාරක සභාවලට අමතරව විවිධ විෂයයන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංසද 12 ක්ද ක්‍රියාත්මක විය. ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ කාරක සභා සහ සංසද 86ක් ක්‍රියාත්මක වී ඇත.
නවවැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 2020 අගෝස්තු 20 දින ආරම්භ වූ අතර, එතැන් සිට විසිරුවා හරිනු ලැබූ පසුගිය සැප්තැම්බර් 24 වැනි දා දක්වා අවුරුදු 4 කුත් මාස 1ක් සහ දින 4ක් ක්‍රියාත්මක විය. එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ සභා වාර පහක් ක්‍රියාත්මක වූ අතර, එම කාලසීමාව තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී ඇත.
එම වකවානුව තුළ විශේෂ කාර්යයන් සඳහා තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව,මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයතු පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කරක සභාව, සම්බන්ධීකරණ කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව ලෙස තේරීම් කාරක සභා 16ක් ක්‍රියාත්මක විය.
එමෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් ක්‍රියාත්මක විය. ආංශික අධීක්ෂණ කාරක සභා නව්‍ය අංගයක් ලෙස ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට යොදා ගැනීමද සුවිශේෂී වේ. එමෙන්ම ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට මෙරට තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කමද ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමේදී අවධානයට ලක්කළ ප්‍රධාන කරුණක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් තරුණ තරුණියන්ට කාරක සභා රැස්වීම්වලට ක්‍රියාකාරීව සහභාගි වීමට ඉඩකඩ සලසා දීම නවවැනි පාර්ලිමේන්තු කාලසීමාවේදී සිදු විය.
ස්ථාවර නියෝගවලට අනුකූලව සෑම කැබිනට් අමාත්‍යාංශයක් සඳහාම එක් උපදේශක කාරක සභාවක් පිහිටු විය යුතු වන අතර, එවන් උපදේශක කාරක සභා 29ක් ද නවවැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක විය.
ඊට අමතරව නවවැනි පාර්ලිමේන්තු කාලසීමාව තුළදී ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඇතුළු කාරක සභා 11 ක් ක්‍රියාත්මක වූ අතර, ඉන් කටයුතු අවසන්කොට කාරක සභා වාර්තා 08 ක් ඉදිරිපත් කොට ඇත. එමෙන්ම නියෝජ්‍ය කථානායකවරයා සභාපති වූ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නවවැනි පාර්ලිමේන්තුව තුළදී එහි කටයුතු සම්බන්ධයෙන් කාරක සභා වාර්තා 25ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත.