වත්මන් රජය අයි.එම්.එෆ්. සමඟ නව ගිවිසුමකට යෑමෙන් ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වෙනවා-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

අයි.එම්.එෆ්. රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක් හරහා ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ දී බටහිර කොළඹ සංවිධායක අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ආසන ක්‍රියාකාරි හමුවකට පෙරේදා (16) එක්වෙමිනි.

ඒ තුළින් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වය ඇති වන බැවින් වත්මන් රජය IMF එක සමඟ සාකච්ඡා ආරම්භ කර බදු බර ලිහිල් කරන නව ගිවිසුමකට යන තෙක් අපේක්ෂාවන් සිටින බවත් එවැනි වැඩසටහන්වලට සහාය ලබා දීමට ද සූදානම් බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපේ රටේ ලක්ෂ 220 ජනතාව රට බරපතළ අභියෝග රැසකට මුහුණ දෙන බවත් මේ අභියෝග ජයගන්න තමා නායකත්වය දෙන බවත් බංකොලොත්භාවයෙන් ආර්ථිකය කුඩා වීම තුළ ආර්ථිකය කුඩා කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය වීම නිසා ජනතාව පීඩනයට ලක්වූ මොහොතක අප සිටින බවත් විරැකියාව වැඩිවී උද්ධමනය වැඩි වී ජන ජීවිත කඩා වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම ආර්ථික යන්ත්‍රණය අඩපණ වී ආර්ථික වර්ධනය කුඩා වී ඇති අප රට 2028 සිට නැවත ණය ගෙවීමට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් එය ආර්ථික ස්ථාවරත්වයට වැදගත් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම 42% කගේ කැමැත්තෙන් බිහිවූ වත්මන් ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ බදුබර අඩු කරන ගමනකට යාම බවත් මේ බදු බර නිසා ජන ජීවිත කඩාකප්පල් වී ඇති බවත් මේ බදු නිසා රටක් ඉදිරියට යා නොහැකි බවත් බුද්ධිගලනය වර්ධනය වී ඇති අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රට අත්හැර යන මේ මොහොතේ මේ දරාගත නොහැකි බදු සූත්‍රය සංශෝධනය කර සහන බදු සූත්‍රයකට මුලපිරිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද හිටපු රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී වැඩි බරක් ජනතාව පිට පටවා ජනතාවට පීඩනය අසහනය ගෙන එන ගිවිසුමකට අත්සන් කර සාමාන්‍ය ජනතාවට නිර්මාණය කළ ඒ අසහනයට විරුද්ධව නැඟී සිටියේ සමගි ජන බලවේගය බවත් ජනතාවට වඩාත් සහනදායී ගිවිසුමකට යා යුතුය කියන පදනම මත ජනාධිපතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක කළ යුතු බවත් IMF එකෙන් දැන් රටට ජනතාවට සහන නොලැබෙන නිසා හිටපු රජය නිර්මාණය කළ ගිවිසුම වෙනස් කරන්න සමගි ජන බලවේගය සාකච්ඡා කළ බවත් එහිදී ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමකට යාමට සූදානම් වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.