ඉතිහාසය අලුත් කළ සිංහයෝ කොදෙව්වන්ට එරෙහිව විස්සයි20 තරගාවලිය දිනති

ශ්‍රී ලංකා – කොදෙව් ද්වීපාර්ශ්වික විස්සයි20 තරග ඉතිහාසය වෙනස් කරමින් සිය පළමු තරගාවලි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ රාත්‍රියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සමත් වූහ.

දෙපිල අතර මෙතෙක් පවත්වා තිබූ තරගාවලි ත්‍රිත්වයක ඉතිහාසයේ එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව නිමා වෙද්දී සෙසු තරගාවලි දෙක කොදෙව්වන් ජය ගෙන තිබිණි.

එවැනි පසුබිමක තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමව තිබියදී ඊයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තෙවැනි තරගයේදී කොදෙව් පිල කඩුලු 9කින් පරාජය කිරීමට සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල රැස් කළ ලකුණු 162ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 12ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.

ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක පළමු කඩුල්ලට පන්දු 32කින් ලකුණු 60ක් එක් කළ අතර, පන්දු 22කින් ලකුණු 39ක් ලබා සිටි පැතුම් දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. අනතුරුව පිටියේ එක්වූ කුසල් යුගලය (මෙන්ඩිස් සහ ජනිත්) පන්දු 76කදී ලකුණු 106ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමින් ජය තහවුරු කළහ.

කුසල් මෙන්ඩිස් ඊයේ පන්දු 37කින් 15 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළ අතර, ඒ සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු බවට ඔහු පත් විය. ඉන් ටික වේලාවකට පසු කුසල් ජනිත් ද පන්දු 34කින් අර්ධ ශතකය වාර්තා කළ අතර, ඒ සමඟ ඔවුහු දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 අර්ධ ශතක රැස් කළ පිතිකරුවන් බවට පත්වූහ. මේ තරගයට පෙර ඔවුන් දෙදෙනා සමඟ තිලකරත්න ඩිල්ෂාන් ද විසස්යි20 අර්ධ ශතක 14 බැගින් වාර්තා කර තිබිණි.

තරගය නිමා වන විට මෙන්ඩිස් පන්දු 50කදි හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 68ක් සහ ජනිත් හතරේ පහර 7ක් සමඟ පන්දු 36කින් නොදැවී ලකුණු 55ක් රැස් කර තිබිණි.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිතිකරුවන් තරගයේ ආරම්භයේ සිටම ඇද බැඳ තබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඕවර 12ක් නිමා වන විට කොදෙව් ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 62කට කඩුලු 5ක් ලෙසිනි. කෙසේ වෙතත් 6 වැනි කඩුල්ලට නායක රොව්මන් පවෙල් සමඟ එක්වූ ගුඩකේෂ් මෝති පන්දු 26කින් ලකුණු 54ක් රැස් කරමින් ඉනිම ලකුණු 100 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. දෙවැනි තරගයේදී සාර්ථකම පන්දු යවන්නා වූ දුනිත් වෙල්ලාලගේට මුහුණ දීමට සැලසුම් සහිතව පිටියට පිවිසි මෝති වෙල්ලාලගේ යැවූ සිව්වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 3ක් ද සමඟ ලකුණු 25ක් උදුරා ගත්තේය. ඔවුන් දෙදෙනාට අමතරව රොමාරියෝ ෂෙපර්ඩ් ද එක්ව අවසන් ඕවර 5දී ලකුණු 51ක් ලබා ගැනීමෙන් කොදෙව් ලකුණු පුවරුව 162 දක්වා ඉදිරියට ගියේය. මෝති පන්දු 17කදී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 32ක් රැස් කළ අතර, පවෙල් පන්දු 27කින් ලකුණු 37ක් සහ ෂෙපර්ඩ් පන්දු 13කින් ලකුණු 18ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාගත් අතර, චරිත් අසලංක, මතීෂ පතිරණ, කමිඳු මෙන්ඩිස් සහ නුවන් තුෂාර කඩුල්ල බැගින් බිඳ දැමූහ.

කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසත් පැතුම් නිශ්ශංක තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන දිනා ගත්හ.

ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම මේ තරගයටත් එක් තිබූ අතර, කොදෙව් පිල වෙනස්කම් දෙකක් සිදු කරමින් ෂායි හෝප් සහ ෆේබියන් ඇලන් කඳවා තිබුණේ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ ෂමර් ස්ප්‍රිංගර් වෙනුවටය.

ශ්‍රී ලංකා – කොදෙව් තරග 3කින් සමන්විත දිවා රාත්‍රී එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා (20) පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව්

බ්‍රැන්ඩන් කිං ප.තීක්ෂණ 23

එවින් ලුවිස් ප.තීක්ෂණ 0

ෂායි හෝප් ඇ.පැතුම් ප.හසරංග 18

රොස්ටන් චේස් ඇ. සහ ප.කමිඳු 8

ෂර්ෆාන් රදර්ෆර්ඩ් ප.අසලංක 6

රොව්මන් පවෙල් ඇ.භානුක ප.පතිරණ 37

ගුඩකේෂ් මෝති ස්ට.මෙන්ඩිස් ප.හසරංග 32

රොමාරියෝ ෂෙපර්ඩ් ප.තුෂාර 18

ෆේබියන් ඇලන් නොදැවී 4

අල්සාරි ජෝසප් නොදැවී 2

අතිරේක 14

එකතුව කඩුලු 8ක් දැවී (ඕවර 20) 162

කඩුලු බිඳ වැටීම: 1-5, 2-42, 3-53, 4-55, 5-62, 6-116, 7-147, 8-160

පන්දු යැවීම: තීක්ෂණ 3-0-19-2, තුෂාර 2-0-27-1, වෙල්ලාලගේ 4-0-36-0, හසරංග 4-0-24-2, කමිඳු 3-0-21-1, අසලංක 2-0-14-1, පතිරණ 2-0-15-1.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ප.මෝති 39

කුසල් මෙන්ඩිස් නොදැවී 68

කුසල් පෙරේරා නොදැවී 55

අතිරේක 4

එකතුව කඩුල්ලක් දැවී (ඕවර 18) 166

කඩුලු බිඳ වැටීම: 1-60

පන්දු යැවීම: ඇලන් 2-0-23-0, අල්සාරි 3-0-38-0, මෝති 4-0-31-1, ෂමර් 2-0-26-0, ෂෙපර්ඩ් 3-0-24-0, චේස් 4-0-24-0.