ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගන්න මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් කිරීම වැදගත්

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි. දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දෙන ලදි.

වරාය, ගුවන්තොටුපොළ, මහාමාර්ග සංවර්ධන කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමෙහිලා ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ව්‍යාපෘති විධිමත්ව සැලසුම් කිරීමෙන් ජාතික ආර්ථිකය නඟාසිටුවිය හැකි බවද ප්‍රකාශ කළේය. දැනට ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික බලපෑම්, මූල්‍යමය බලපෑම්, ප්‍රජාවට සිදුවන බලපෑම් ද සැලකිල්ලට ගෙන අහිතකර බලපෑම් අවම කර ගනිමින් කඩිනමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහත්වරු ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.