සුළි කුණාටුවෙන් විපතට පත් මියන්මාර් ජනතාවගේ ප්‍රයෝජනයට ලංකා තේ තොගයක් පරිත්‍යාග කෙරේ

සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් මියන්මාර් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලංකා තේ තොගයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.

මියන්මාරයේ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහයෝගය දැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙන අතර එය නිල වශයෙන් මියන්මාරය වෙත භාරදීම විදේශ ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවිය.

ඒ අනුව එම තේ තොගය ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනී මාර්ලර් තන් හිටේක් මහත්මිය වෙත භාරදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අවස්ථාවේ දී තේ කිලෝ ග්‍රෑම් 227ක් සංකේතාත්මකව පරිත්‍යාග කර ඇත.

මෙම අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව විසින් තේ පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ප්‍රණාමය පිරිනමන බව මියන්මාර් තානාපතිනිය පවසා ඇති අතර එම ක්‍රියාදාමය අගය කරන බවද ප්‍රකාශ කර තිබේ.

මේ අතර මියන්මාරයේ මයිවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයින් 40 දෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ අවධානය පිළිබඳව මෙහිදී විදේශ ඇමැති විජිත හේරත් මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබෙන අතර එම පුද්ගලයන් මුහුණ දෙන මානුෂීය දුෂ්කරතා පිළිබඳව ද අවධානය යොමුකර ඇත.

ඊට අමතරව ඔවුන්ව ඉතා ඉක්මනින් නිදහස් කර ගැනීම සඳහා මියන්මාර් බලධාරීන්ගේ සහාය ඉල්ලා සිටි විදේශ ඇමැතිවරයා ඔවුන්ව කඩිනමින් නිදහස් කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළකර තිබේ. මියන්මාර් බලධාරීන් මුහුණ දෙන අභියෝග තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ අභියාචනය ඉදිරිපත් කරන බවට ද එකඟ වී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ නිලධාරීන් ද උත්සවයට එක්ව සිටියහ.