සික් බෙදුම්වාදී නායකයාගේ ඝාතන සිදුවීමට ඉන්දීය මහකොමසාරිස් කැනඩාවෙන් නෙරපයි-ඉන්දියාවත් ප්‍රතිචාර දක්වයි

කැනඩාවේ සික් බෙදුම්වාදී නායකයකු වූ හර්දීප් සිං නීරජ් පසුගිය වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බවට එරට පොලිසිය චෝදනා කිරීමෙන් පසු කැනඩාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් 6 දෙනකු රටින් පිටුවහල් කිරීමට තීරණය කළ බව කැනේඩියානු රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කැනඩාවේ පුරවැසිභාවය ලැබූ සික් බෙදුම්වාදීන්ට එරෙහිව මිනීමැරුම්, හිරිහැර කිරීම් සහ අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් පසුපස ඉන්දීය රජයේ නිලධාරින් සිටින බව ප්‍රමාණවත් සාක්ෂි එක්රැස් කිරීමෙන් පසු එරට පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලින් හඳුනාගෙන ඇතැයි කැනඩාවේ විදේශ කටයුතු ඇමැතිනිය මෙලනි ජොලී පෙරේදා ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කැනේඩියානු රජය ගත් තීරණය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් බිඳවැටීමට හේතු වනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවේ කැනේඩියානු වැඩබලන මහකොමසාරිස්, නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් 6 දෙනකු රටින් පිටුවහල් කිරිමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

කැනේඩියානු භූමියේදී එරට පුරවැසියන්ට එරෙහිව අපරාධ ක්‍රියාකාරකම්වලට සහාය දැක්වීමට හැකි බව සිතීම විශාල වරදක් බවත්, මිනීමැරුමක් හෝ කප්පම් ගැනීමක් හෝ වේවා එය කිසිවකුට කිසිසේත්ම පිළිගත නොහැකි බවත් කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ඉන්දියාවට චෝදනා කරමින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

ඉන්දිය මහකොමසාරිස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් 6 දෙනකු රටින් පිටුවහල් කිරීමට කැනේඩියානු රජය තීරණය කිරීමත් සමඟ එම පිරිස වහාම ඉවත් කර ගැනීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

සිය නිලධාරින්ගේ ආරක්ෂාව සහතික කිරීමට වත්මන් කැනේඩියානු රජය දක්වන කැපවීම පිළිබඳ විශ්වාසයක් නැති බව ඊයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.