හම්බන්තොට වරායේ හසුරුවන වාහන ප්‍රතිනැව්ගත කිරීම් සියයට 40ක වර්ධනයක්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ හසුරුවන වාහන ප්‍රතිනැව්ගත කිරීම් 2024 දෙවන සහ තුන්වන කාර්තු අතරතුර සියයට 40කින් වර්ධනය වී ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ අග වනවිට, දෙවන කාර්තුවේ දී හැසිරවූ 125,526 ක RORO ඒකක සංඛ්‍යාව තුන්වන කාර්තුවේ දී 175,583 දක්වා ඉහළ නැංවීමට වරාය සමත්ව ඇත.

මෙයට විශේෂයෙන් සාධක වී ඇත්තේ HIP හි ක්‍රියාත්මක වන RORO නැව් සමාගම්හි වැඩිවීමක් මෙන්ම ෂැංහයි, උල්සාන්, ටයිකාන්ග්, පියොංටේක්, ඩෆෙන්ග් සහ බැල්ටිමෝර් වැනි වරාය කිහිපයක් වරායේ බෙදාහැරීම් ජාලයට අලුතින් සම්බන්ධ වීම බව වරාය සමූහයේ නියෝජිතයෝ පවසති. මෙසේ RORO සංඛ්‍යා වැඩිවීම වසර දෙකකට පෙර වරාය විසින් සැලසුම් අනුව අපේක්ෂා කර ඇති අතර ඒ අනුව තම වාහන අංගණ අවකාශය පුළුල් කිරීමට ද උත්සුක විය.

වරායට පැමිණෙන RORO ඒකක බොහොමයක් ලොව පුරා විවිධ ගමනාන්ත වෙත ප්‍රතිනැව්ගත කරන බව පවසන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා, ප්‍රතිනැව්ගත කිරීම සඳහා පැමිණෙන වාහන වර්ගයන්හි වෙනසක් ද දක්නට ඇති බව පවසයි. “අපගේ ගිවිසුම්ගත අනුග්‍රාහකයන් වෙතින් බර වාහන වැඩියෙන් පැමිණීම වරායේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා.එමෙන්ම RORO නැව් සමාගම් කිහිපයක්ම HIP හරහා නව ගමනාන්ත වෙත තම අලුත් සේවා ක්‍රියාත්මක කිරීම වරාය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය තහවුරු කිරීමක්. අප වෙත එන සුඛෝපභෝගී වාහන අධික වීම මෙයට කදිම නිදසුනක්”යැයි ඒ මහතා පෙන්වා දුන්නේය.