ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ, අද (14) දිනයේ ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි.

ඒ අනුව, එය ඉදිරි දින 2 තුළ හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්වීමට ඉඩ ඇති අතර බටහිර-වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

එම දෙපාර්තුමේන්තුව සඳහන් කර ඇත්තේ, උතුරු අක්ෂාංශ 06ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 93 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං පැ.කි.මී. 60-70, සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

ඉහත සිතියමේ “Warning” කාණ්ඩය යටතේ ලකුණු කරඇති මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට අවධාරණය කර ඇත.