අන්තර්ජාලයෙන් මූල්‍ය වංචා කළ චීන්නු 130ක් කුණ්ඩසාලේදී මාට්ටු

තවත් 18ක් අනිවත්තේදී අල්ලයි

වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් චීන ජාතිකයන් 18 දෙනකු ඊයේ (13) මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතරින් 16 දෙනකු සතුවම වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොතිබූ බව පොලිසිය පවසයි. සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින අතර, මොවුන් ද පරිගණක මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.

සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මට්ටමින් රුපියල් බිලියන ගණනින් අන්තර්ජාල මූල්‍ය වංචා සිදු කළ චීන ජාතිකයන් 130 දෙනකු මහනුවර පොලිසිය විසින් පෙරේදා (12) කුණ්ඩසාල ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය මස 30 වැනිදා සිට මේ චීන ජාතිකයන් හෝටලයේ සුඛෝපභෝගි කාමර 72න් 47ක් මාස හයක කාලයක් සඳහා කුලියට ගෙන එහි රැඳී සිට තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

සැක කටයුතු ලෙස චීන ජාතිකයන් විශාල පිරිසක් හෝටලයේ රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා එම ස්ථානය වටලා තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද චීන ජාතකයන් 126 අතර කාන්තාවන් 17ක් සිටින බව පොලිසිය පවසයි.

වැටලීම සිදු කරන අවස්ථාවේ චීන ජාතිකයන් සිව් දෙනකු මහවැලි ගඟ හරහා පිහිනා පලාගොස් තිබෙන බව ද වාර්තා වේ.

ලොව ප්‍රධාන පෙළේ බැංකුවල රුපියල් බිලියන ගණනින් මුදල් තැන්පත් කර තිබෙන ගිණුම් හිමිකරුවන්ගේ ගිණුම්වලට අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රවිෂ්ට වෙමින් මේ පුද්ගලයන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචනික ලෙස ලබාගෙන තිබෙන බවට පොලිසිය සැක කරයි.

සැකකරුවන් සතුව තිබී අති නවීන ලැප්ටොප් පරිගණක 120ක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 300ක්, ඩෙස්ටොප් පරිගණක 15ක්, රවුටර් 50ක් සමඟ තාක්ෂණික උපකරණ තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ.

පසුගිය දිනෙක හබරණ ප්‍රදේශයේදී ද මේ ආකාර වංචනික ක්‍රියාවක නිරත වූ චීන ජාතික කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම අවස්ථාවේ පලා ගිය චීන ජාතිකයන් 26 දෙනකු ද මේ සැකකරුවන් අතර සිටින බව පොලිසිය පවසයි.

සැකකාර චීන ජාතිකයන් මේ දක්වා හෝටලයේ නවාතැන් ගෙන සිටි දින දහයක කාලසීමාවට රුපියල් ලක්ෂ පනහක ආහාර ඇණවුම් බිල්පත් ගෙවා තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් හෙළිව තිබේ.

සැකකාර චීන ජාතිකයන් සමඟ භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේ චීන ජාතිකයන් කණ්ඩායම හෝටලයේ උත්සව ශාලාවේ රැඳී සිටිමින් බැංකු ගිණුම් විස්තර ඒකරාශී කරමින් සිට ඇති අතර, එම ස්ථානය හෝටල් සේවකයන්ට පවා තහනම් කලාපයක් ලෙස පැවති බව වැටලීම කළ නිලධාරීහු පැවැසූහ.

මේ චීන ජාතිකයන් පිරිස හෝටලයට පැමිණි මුල් දිනවලම ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ සම්බන්ධව දැනුම් දී ඇතත් එම පැමිණිලිවලට අදාළව නිසි විමර්ශනයක් සිදුව නොමැති බව ද දැනගන්නට ඇත.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරක් මත මේ වැටලීම සිදු කර තිබේ.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහත්වරුන්ගේ උපදෙස් මත, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වැටලීම සිදු කර සැකකාර චීන ජාතිකයන් අත්අඩංගුවට ගෙන ඇත.