සැක රථ 3ක් ගැන පොලීසිය විමසිල්ලෙන්

සැක සහිත සුඛෝපභෝගි ජීප් රථයක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයකුගේ හිතවතකු විසින් ගරාජයකට ගෙනැවිත් තිබූ රථ 2ක් පැල්මඬුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පැල්මඬුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට නවතා තිබූ ජීප් රථයක් සහ මෝටර් රථයක් ඊයේ (13) දහවල් පැල්මඬුල්ල පොලීසිය භාරයට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ වාහන 2 හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලකයකුගේ හිතවතකු විසින් ගරාජයට ගෙනැවිත් ඇති බව සැක කෙරේ. මේ වාහන රජයට අයත් වාහනදැයි සොයාගැනීමට සහ ඒවා කාගේ භාරයේ තිබුණේදැයි සොයාගැනීමට පොලීසිය විමර්ශන සිදු කරයි. ඕපනායක පල්ලෙකන්ද පාසල් පාර කැන්දේකැටිය ප්‍රදේශයේ නිවෙසක නවතා තිබූ සුඛෝපභෝගි වී8 වර්ගයේ ජීප් රථය 1997ට ලද තොරතුරක් අනුව ඊයේ පොලීසිය විසින් සොයාගෙන තිබේ. එහි චැසි අංකයට වාහනයක් මොටර් රථ ප්‍රවාහන දෙපර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති බව ඕපනායක පොලීසිය පවසයි. එම වාහනයේ හිමිකරුයැයි සඳහන් කරන අයගේ පියා පොලිසියට ඉදිරිපත් වුණත් හිමිකරු කවුදැයි සොයා පොලීසිය පරීක්ෂණ සිදු කරයි.