ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
කෙසේ වෙතත් මේ දිනවල මෙරටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද තරගයට වර්ෂාවෙන් බාධා වීමට ඉඩ ඇතැයි කාලගුණ අනාවැකි පළ වී තිබේ.
සනත් ජයසූරිය මහතා නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් පසු පැවැත්වෙන තරගාවලිය මෙය වන අතර, පසුගිය මාස කිහිපයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ යළි කතාබහට ලක්වන කණ්ඩායමක් බවට පත්වූ ශ්‍රී ලංකා පිලට යළිත් ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට මේ තරගාවලියෙන් අවස්ථාවක් ලැබී තිබේ. ඒ කොදෙව්වන්ට එරෙහිව පළමු වරට විස්සයි20 තරගාවලි ජයක් සටහන් කර ගැනීමෙනි.
ශ්‍රී ලංකව සහ කොදෙව් පිල අතර මින් පෙර ද්විපාර්ශ්වික විස්සයි20 තරගාවලි 3ක් පවත්වා ඇති අතර, 2015 වසරේ පැවති පළමු තරගාවලිය 1-1ක් ලෙස සමව නිමා වී තිබේ. අනතුරුව 2019දී තරගාවලිය 2-0ක් ලෙස සහ අවසන් වරට 2021 වසරේ පැවති තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.
කෙසේ වෙතත් විස්සයි20 පිටියේදී 15 වතාවක් දෙපිල හමු වෙද්දී වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ තරග 8ක් ජය ගනිමිනි. ඉතිරි තරග හතේ ජය කොදෙව් පිල සතු වී ඇත. මේ වන විට කොදෙව් පිල අයිසීසී ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි20 පිටියේ තෙවැනි තැන පසුවන අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වැනි ස්ථානයේයි.
තරගාවලි ද්විත්වයකදී විස්සයි20 කණ්ඩායමට නායකත්වය දී ඇති චරිත් අසලංක නිත්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු කණ්ඩායම මෙහෙයවන දෙවැනි අවස්ථාව මෙය වන අතර, ඔහු පසුගිය ජූලි මස ඉන්දියාවට එරෙහි තරගාවලියේදී නිත්‍ය නායකයා ලෙස නම් කෙරිණි. ඉන් පෙර මේ වසර මුලදී බංග්ලාදේශයට එරෙහිව පැවති විස්සයි20 තරගාවලියේදී තරග 2කදී ඔහු නායකයා ලෙස කටයුතු කළේය.
කෙසේ වෙතත් අසලංක මෙන්ම කොදෙව් පිල විස්සයි20 පිටියේදී 26 වතාවත් මෙහෙයවා ඇති රොව්මන් පවෙල් ද එකිනෙකාට එරෙහිව නායකත්වය දෙන පළමු අවස්ථාව මෙයයි.
32 හැවිරිදි මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ යළි විස්සයි20 සංචිතයට එක්ව ඇති අතර, දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ද වසර දෙකකට පසුව යළි විස්සයි20 කණ්ඩායමේ ස්ථානයක් ලබා ගෙන තිබේ. භානුක පසුගිය වසරේ ජනවාරි මස ඉන්දියාවට එරෙහිව අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කළ අතර, වැන්ඩසේ අවසන් වරට තරගයකට එක්වූයේ 2022 වසරේ පෙබරවාරි මස ඉන්දියාවට එරෙහිවය.
පෞද්ගලික හේතූන් මත මේ සංචාරයෙන් කොදෙව් ප්‍රබල ක්‍රීඩකයන් වන ඇන්ඩ්‍රි රසල්, නිකොල්ස් පූරාන්, ශිම්රන් හෙට්මයර් සහ අකීල් හොසේන් ඉවත් වීමට කටයුතු කළ අතර, පළපුරුදු පිතිකරුවකු වන එවින් ලුවිස් වසර දෙකකට පසු යළි විස්සයි20 සංචිතයට කැඳවා තිබේ. ඔහු අවසන් වරට 2022 වසරේ ඔක්තෝබර් මස අයර්ලන්තයට එරෙහිව විස්සයි20 තරගයකට එක්ව තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩකයන් වන 32 හැවිරිදි ටෙරන්ස් හින්ඩ්ස් සහ 26 හැවිරිදි ෂමර් ස්ප්රින්ගර් පළමු වරට විස්සයි20 සංචිතයට කැඳවා ඇත.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.
කොදෙව් විස්සයි20 සංචිතය – රොව්මන් පවෙල් (නායක), රොස්ටන් චේස් (උප නායක), ෆේබියන් ඇලන්, ඇලික් අතනාසේ, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, ටෙරන්ස් හින්ඩ්ස්, ෂායි හෝප්, අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, ෂර්ෆාන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමර් ස්ප්රින්ගර්.