ඉන්දියාවේ ඓතිහාසික සිව්දින නිල සංචාරයක නිරත වූ මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද්විපාර්ශ්වික විනිමය හුවමාරු ගිවිසුමකට ද, නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද එකඟතාවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයිනට මූල්‍යමය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඉන්දීය අගමැතිවරයා එකඟතාව පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දෙරට අතර විනිමය හුවමාරු ගිවිසුමට අනුව මාලදිවයිනට විදේශ සංචිත ගැටලුව ජය ගැනීමටත්, එරට ආර්ථීකය නැවත ගොනැඟීමටත් අවශ්‍ය පිටුවහල ලැබෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මාලදිවයිනේ අටවැනි ජනාධිපතිවරයා ලෙස පසුගිය වසරේ අගභාගයේදි මොහොමඩ් මුයිසු පත්වීමෙන් පසු එතෙක් ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඈත් කරමින් චීනය සමඟ සමීප මිත්‍රත්වයක් ගොඩනඟා ගත් බවත්, මෑත කාලයේදී එරට ආර්ථික අර්බුදය උද්ගත වීමෙන් පසු මාලදිවයින ජනාධිපතිවරයා යළි ඉන්දියාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට පියවර ගැනීම ආසියානු කලාපයේ සාමය ව්‍යාප්ත කිරීමට වැදගත් පියවරක් බව දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.