සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් වන අතර කුමන රටක හිටියත් එම රටේ පුරවැසියන් සියලුදෙනාට සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමිකම ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. සෞඛ්‍ය සම්පන්නව සිටීම අයිතිවාසිකමක් වුවත් රජයේ රෝහල් පද්ධතියක් තිබුණත් ඉන් ප්‍රතිකාර නොගතහොත් සහ ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් නොපිළිපැද්දොත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට නොහැකි බව ද ඒ මහතා පැවසුවේය.
ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් හා සංවිධාන ශක්තියෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ රෝහල් කාර්ය මණ්ඩලවල සහභාගිත්වයෙන් මොනරාගල කැපිටල් රිසෝට්හි පැවැති අන්තර් රෝහල් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට පසුගියදා සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
දුම් නොබොන ලෙසට කොපමණ උපදෙස්, සෞඛ්‍ය අවවාද ජනතාවට ලබා දුන්නත් දුම්බීම නිසා මෙරට පුද්ගලයන් වාර්ෂිකව 20,000ක් පමණ මරණයට පත් වන බවත් මද්‍යසාර භාවිතය නිසා සිදු වන මරණ සහ සෞඛ්‍යසම්පන්න නොවන ආහාර භාවිතය නිසා සිදු වන මරණ සංඛ්‍යාවේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම අන්තර් රෝහල් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෞඛ්‍ය කාර්ය සහායක සේවකයා දක්වා නියෝජනය වන ආකාරයට එක් කණ්ඩායමකට පස්දෙනකු සහභාගි වූ අතර අවස්ථාවන් කිහිපයකදී පැවැත්වූ ප්‍රශ්න විචාරාත්මක වටයන්ගෙන් ජයග්‍රණය ලබා අවසන් වටයට සියඹලාණ්ඩුව මූලික රෝහල් කණ්ඩායමට සහ බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල් කණ්ඩායම සුදුසුකම් ලැබීය. ප්‍රශ්න වට තුනකින් පැවැත්වූ අවසන් මහා තරගාවලියෙන් සියඹලාණ්ඩුව මූලික රෝහල ලකුණු 115ක් ලබා ජයග්‍රහණය කෙරිණ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනිතා තෙන්නකෝන්, මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහත්ම මහත්මීන් ද වෛද්‍ය අධිකාරීවරුන් ද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරුන් ද ආයතන භාර වෛද්‍ය නිලධාරීවරුන් ද විශේෂඥ වෛද්‍යවරුන් ද වෛද්‍යවරුන් ද හෙද හෙදියන් ද ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක්ද සහභාගි වී සිටියහ.