ඉන්දු – ශාන්තිකර කලාපයේ සාමය සහ සෞභාග්‍යය සහතික කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ කාර්යභාරය තීරණාත්මක සාධකයක් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අවධාරණය කරයි.
ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වෙළෙඳ මාර්ග ආරක්ෂා කිරීම සඳහා සමුද්‍රීය වසම් දැනුම්වත් කිරීම ඉතා වැදගත් බව පෙන්වාදෙන ඒ මහත්මිය සාගර කලාප, ආර්ථික අවස්ථාවන්ගෙන් පොහොසත් වන අතරම, නීති විරෝධී මසුන් ඇල්ලීමේ සිට මිනිස් ජාවාරම් සහ වෙනත් නීති විරෝධී, බලහත්කාර සහ වංචාකාරී ක්‍රියාකාරකම් දක්වා සැලකිය යුතු තර්ජනවලට ඒවා ගොදුරු වන බව ද පෙන්වාදෙයි.
තානාපතිනිය මේ බව සඳහන් කළේ අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන්යානය නිල වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීම වෙනුවෙන් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේදී පෙරේදා (10) පැවති උත්සවය අමතමිනි.
අමෙරිකානු රජය මඟින් එම නවීන ගුවන් යානය නිල වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීම කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේදී සිදුකෙරුණු අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චැන්ග්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණ දෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
අමෙරිකාවේ පරිත්‍යාගයක් වන මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බළගණයට අනුයුක්තව රාජකාරි ඇරැඹීමට නියමිත අතර එම නවීන ගුවන් යානය සාම්ප්‍රදායික ජල ආචාර මැද කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරට පිළිගන්නා ලදි. අනතුරුව මෙම බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360 නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාරදීමේ සහ භාර ගැනීමේ ලේඛනයන් සඳහා අත්සන් කරන ලද අතර එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණ දෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහත්වරු ඊට අත්සන් කළහ.
මෙම අවස්ථාව එක්සත් ජනපද – ශ්‍රී ලංකා දෙරටෙහි දිගුකාලීන සහයෝගිතාව සංකේතවත් කරන අතර ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ ස්වෛරීභාවය ශක්තිමත් කිරීමේ තීරණාත්මක පියවරක් වනු ඇතැයි ද නවීනතම නිරීක්ෂණ තාක්ෂණයෙන් සන්නද්ධ කිංග් එයාර් ගුවන් යානය, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදීමට, සමුද්‍රීය තර්ජනවලින් ආරක්ෂා වීමට සහ ඉන්දියන් සාගරයේ වැදගත් වෙළෙඳ මාර්ග සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කරනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ එක්සත් ජනපද තානාපතිනි ජුලී චැන්ග් මහත්මිය,
“කිංග් එයාර් ගුවන් යානය එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගිතාව, ඉන්දු – පැසිෆික් කලාපයේ සාමය සහ සෞභාග්‍යය සහතික කිරීම උදෙසා වන ශ්‍රී ලංකාවේ කාර්යභාරය පිළිබඳ සාක්ෂියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. සමුද්‍රය අප එකිනෙකා හා සම්බන්ධ කරන බැවින් එහි ආරක්ෂාව සාමූහික වගකීමක් බවට වන ශ්‍රී ලංකාවේ දැක්ම, හවුල්කරුවකු ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ එක්ව බෙදා ගන්නවා. ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වෙළෙඳ මාර්ග ආරක්ෂා කිරීම සඳහා සමුද්‍රීය වසම් දැනුම්වත් කිරීම ඉතා වැදගත් වෙනවා. සාගර කලාප, ආර්ථික අවස්ථාවන්ගෙන් පොහොසත් වන අතරම, නීති විරෝධී මසුන් ඇල්ලීමේ සිට මිනිස් ජාවාරම් සහ වෙනත් නීති විරෝධී, බලහත්කාර සහ වංචාකාරී ක්‍රියාකාරකම් දක්වා සැලකිය යුතු තර්ජනවලට ඒවා ගොදුරු වෙනවා. මෙම බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් යානය ඔබේ ජාතික සමගියේ සහ සෞභාග්‍යයේ නිරන්තර ආරක්ෂකයකු ලෙස ඔබට අයිති දේ සාධාරණ ලෙස ආරක්ෂා කිරීමට සැමවිටම සුපරික්ෂාකාරී වෙමින් සේවය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා,
“තාක්ෂණයෙන් ඉතාම දියුණු බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමෙරිකාවෙන් පරිත්‍යාග කර තිබෙනවා. මුහුදු කලාපය ආවරණය කරමින් එහි නිරීක්ෂණ කටයුතු කරන්න මේ ගුවන් යානය ඉතා වැදගත් වෙනවා. ඒ සඳහාම නූතන තාක්ෂණික උපාංගයන්ගෙන් මෙම ගුවන් යානය සමන්විත වෙනවා. එමඟින් අපේ ගොඩබිම් සීමාවට වඩා විශාල සාගර කලාපයක ඇතිවිය හැකි සහ ඇතිවී තිබෙන ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින්, අවශ්‍ය අංශ වෙත යොමු කරමින් රටේ ආරක්ෂාව සඳහා තීරණ ගන්න හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාව වැනි දූපත් සහිත රටකට මෙය ඉතා වැදගත් ගුවන් යානයක් වෙනවා. එවැන්නක් ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් අමෙරිකානු රජයට අපේ ප්‍රණාමය පිරිනමනවා.”
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා,
“ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන හවුල්කාරිත්වයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානය ශ්‍රී ලංකාවට පිළිගන්නවා. බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360 ER ගුවන් යානය හඳුන්වාදීම, සමුද්‍රීය වසම් දැනුම්වත් කිරීම සඳහා වන ගුවන් හමුදාවේ ගුවන් බලය කාර්යක්ෂම කිරීමේ එක් ප්‍රධාන පියවරක්. වගකීම්සහගත හා ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස අපගේ කාර්යභාරය පිළිබිඹු කරමින්, ඉන්දීය සාගර කලාපය තුළ සමුද්‍රීය ආරක්ෂාව සහ HADR ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි අපගේ වැඩි අවධානය යොමු කිරීම මෙම අවස්ථාවෙන් අවධාරණය කරනවා. තවද, මෙම නවීන ISR පද්ධතිය ගුවන් සහ සමුද්‍රීය වසම්වල තර්ජනවලට මුහුණදීම සඳහා ද අපගේ කලාපයේ අන්තර්ජාතික අපරාධ මැඬලීම සඳහා වන සාමූහික ආරක්ෂාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය පෝෂණය කිරීමේ අඛණ්ඩ උත්සාහයන් සඳහා ද වන නවතම එකතුවක් වෙනවා.
මෙහිදී එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් මහතා ද අදහස් දැක්වීය.
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හවුල්කරුවන්ගේ ධාරිතාව ගොඩනැංවීමේ වැඩසටහන මඟින් අරමුදල් සපයන ලද කිංග් එයාර් යානය, බීච් ක්‍රාෆ්ට් ටෙක්ස්ට්ර්න් ඒවියේෂන් (Beechcraft Textron Aviation) විසින් නිෂ්පාදනය කරන ලද අතර 2022 වසරේ දී සාදා නිමකරන ලදි.