නෙළුම් කුලුනේ ආරක්ෂාව වැඩි කරයි

සියදිවි හානිකර ගැනීම සහ වෙනත් විනාශකාරී කටයුතු මැඬපැවැත්වීම සඳහා නූතන තාක්ෂණික උපකරණ යොදා අවශ්‍ය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට කොළඹ, නෙළුම් කුලුන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

නෙළුම් කුලුනෙන් පැන සිසුවියක් සියදිවි හානිකර ගැනීම සම්බන්ධව ඊයේ (10) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නෙළුම් කුලුන කළමනාකාරීත්වය සඳහන් කරන්නේ ගොඩනැඟිල්ලෙහි නැරඹුම් මැදිරිය තුළ සිදුවිය හැකි අනතුරු වළක්වාලීම සඳහා සවිකර ඇති ආරක්ෂක වැට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිමවා ඇති බවයි.

2024 ඔක්තෝබර් 07 වැනි දින කොළඹ නෙළුම් කුලුනෙහි 29 වැනි මහලෙහි පිහිටි නැරඹුම් මැදිරියෙන් පැන සිසුවියක් සියදිවි හානි කර ගැනීම පිළිබඳ කොළඹ නෙළුම් කුලුන කළමනාකාරීත්වය බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර සිදුවූ මෙම කනගාටුදායක සිදුවීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීමේ සහ විනාශකාරී කටයුතු මැඬපැවැත්වීම සඳහා නූතන තාක්ෂණික උපකරණ යොදා අවශ්‍ය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට කටයුතු යොදා ඇති බවද නෙළුම් කුලුන කළමනාකාරීත්වය අවධාරණය කර සිටියි.

2022 සැප්තැම්බර් මස 15 වන දින කොළඹ නෙළුම් කුලුන මහජනතාවට විවෘත කිරීමේ සිට 2024 ඔක්තෝබර් මස 06 වැනි දින වන විට දේශීය නරඹන්නන් 2,251,808ක් සහ විදේශීය නරඹන්නන් 93,958ක සංඛ්‍යාවක් නෙළුම් කුලුන නැරඹීමට පැමිණ ඇති බවද නෙළුම් කුලුන කළමනාකාරීත්වය සිය නිවේදනයේ සඳහන් කරයි.