බංග්ලාදේශයෙන් ජනපතිට සුභාශිංසන

වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කරගැනීම සඳහා කටයුතු කරන බව ජනාධිපතිවරයා සහ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා අදහස් හුවමාරු කරගනිමින් සහතික වූහ. මේ බව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

මේ හමුවේදී මහ කොමසාරිස් එලියස් මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත් කරගත් ජයග්‍රහණය පිළිබඳ සිය සුබපැතුම් එක් කළ අතර, බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් මහතාගේ සුබපැතුම්ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදි.

මෙහිදී ජනාධිපතිවරයා සහ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා දෙරට අතර පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. දෙරට අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත්, දෙරට අතර විවිධ අංශයන්හි සහයෝගිතාව පුළුල් කරගැනීමටත් මේ හමුවේදී විශේෂ අවධානය යොමු විය.