පොහොරවලින් වංචා කළ සමාගම් 13ක ගිණුම් වාර්තා කැඳවයි

සහනාධාර ලෙස ලබාදීම සඳහා රජයේ අනුමැතිය ඇතිව මෙරටට ආනයනය කරන ලද පොහොර ගොවීන්ට ලබානොදී වසර 6ක කාලයක් තිස්සේ කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්ත සඳහා වැඩි මිලට විකුණා කෝටි ගණන් මුදල් ඉපැයූ බව කියන සිද්ධියට අදාළ පොහොර සමාගම් දහතුනක බැංකු ගිණුම් වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10) නියෝග කළේය.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ප්‍රධාන පොහොර සමාගම් පහක් සහ ඊට අතරමැදි පොහොර සමාගම් අටක බැංකු වාර්තා පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මඟින් අධිකරණයෙන් ඉල්ලූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දෙන ලදි.

ප්‍රධාන පොහොර සමාගම්වල නියෝජිතයන් සහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට ලබා දිය යුතු පොහොර කර්මාන්ත කටයුතුවලට නිකුත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

රුපියල් 2500ක මිලකට ආනයනය කරන පොහොර කොට්ටයක් රුපියල් 1100ට ලබාදෙන බව පවසමින් එම සමාගම් පොහොර ආනයනය කර ඇති බවත් ඉතිරි මුදල රජය මඟින් එම සමාගම් වෙත ගෙවා ඇති බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. ගෙන්වන ලද පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුව ද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කීපයක් එසේ ආනයනය කරන ලද පොහොර ගොවීන්ට ලබා නොදී කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්තශාලා වෙත රුපියල් 25000, 30000 ලෙස වැඩි මිලකට විකුණා කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇති බවට කරුණු තහවුරු වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොහොර ලේකම් කාර්යාලය මඟින් කමිටුවක් පත් කර ඇති බව ද උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවිය. එසේ පත් කරන ලද කමිටුව ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා පිළිබඳ අවධානය යොමු නොකර එසේ පොහොර ලබාගත් වෙනත් කුඩා සමාගම්වලින් දෙකකට පමණක් රජයේ මුදල් යැවීම නවතා ඇති බව ද පැවසීය.