නිල සංචාරයක් සඳහා ජනපතිට තුර්කියෙන් ආරාධනා

තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සංකේතවත් කරමින් තුර්කියේ නිල සංචාරයකට එක් වන ලෙස තුර්කි තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළේය. තුර්කි තානාපතිවරයා මේ ආරාධනාව කළේ ඊයේ (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීය.

ඉකුත් ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී සිය හෘදයංගම සුබපැතුම් එක් කළ තානාපතිවරයා තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් (Recep Tayyip Erdogan) මහතාගේ සහ තුර්කි ජනතාවගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක, රැකියා සහ වෙළෙඳාම යන ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා තුර්කි තානාපතිවරයා සමඟ සාකච්ඡා කළේය. තුර්කියේ සංක්‍රමණික ශ්‍රම බළකාය සඳහා ඉල්ලුම ඉහළ යමින් තිබෙන බව මෙහිදී තුර්කි තානාපතිවරයා පෙන්වා දුන් අතර, විවිධ ක්ෂේත්‍රවල ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදා කර දෙන බවටද සහතික විය.