අසල්වැසියෝ ගෙදර ගමනට බාධා කරති-චමරි ප්‍රමුඛ පිරිවරේ අවසන් පූර්ව වටයේ අපේක්ෂා වතුරේ

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අපේක්ෂා සුන් කළ අසල්වැසි ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 82ක ජයක් ලබා මෙවර තරගාවලියේ සිය පළමු ජය වාර්තා කළහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගය දෙපිලටම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතරට පිවිසීමට ඉතාම තීරණාත්මක වූ අතර, ආරම්භයේ සිටම ඉන්දීය පිල ඉදිරියෙන් සිටියේය. මේ තත්ත්වය හමුවේ තවමත් ජයග්‍රහණයක් වාර්තා නොකළ ශ්‍රී ලංකා පිල අවසන් පුර්ව වටයෙන් ඉවතට යන අතර, ඉන්දියාව තරගයක් ජය ලබා තවත් තරගයක් ඉතිරිව අපේක්ෂා දල්වා සිටී.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 19.5ක් තුළදී ලකුණු 90කට සීමා විය. ඉන්දීය පිල වාර්තා කළ ලකුණු ප්‍රමාණය මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු ගණන ලෙස වාර්තා පොතේ සටහන්වීම විශේෂත්වයකි. ඊයේ දිනයේ පැවති පළමු තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 5කට ලකුණු 166ක් ස්කොට්ලන්තයට එරෙහිව ලැබීම මෙවර තරගාවලියේ ඉනිමක වාර්තා වූ විශාලතම ලකුණු ගණන විය.

විස්සයි20 තරගයකදී ඕවරයකට දළ ලකුණු වේගය 8.60ක ප්‍රමාණය හඹා යන්නේ කෙසේද යන්න සැලසුම් කර ගැනීමට ශ්‍රී ලංකා පිල අපොහොසත්වූ අතර, එහි ප්‍රතිඵලය වූයේ මුල් ඕවර තුනක් තුළදී විශ්මි, චමරි හා හර්ෂිතා එක පෝලිමට ක්‍රීඩාගාරයට යෑමය. විස්සයි20 තරග 46කට සහභාගීවී අත්දැකීම් ඇති විශ්මි ගුණරත්න වගකීම් විරහිත පිතිකරණයකින් එල්ල කළ පහර ‘අහස් කූරක්’ සේ ඉහළ නැඟි අතර, එය ඉනිමේ පළමු ගොඳුර බවට පත් විය.

පළමු කඩුලු 3 ලකුණු 6කදී බිඳ වැටුණු පසු කවීෂා දිල්හාරි හා අනුෂ්කා සංජීවනී 4 වැනි කඩුල්ලට පන්දු 34කදී ලකුණු 37ක් එක් කළ අතර, අනුෂ්කා ස්ටම්ප් කිරීමකට හසුවීමෙන් ලකුණු 20කට දැවී ගියාය. තම 100 වැනි විස්සයි20 තරගයට එක්වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 8ක් වාර්තා කර ගනිමින් ජාත්‍යන්තර විස්සයි20 තරගවලදී ලකුණු 1105ක් බවට පත්කරගත් අතර, කවීෂා දිල්හාරි ලකුණු 21කට දැවී ගියාය. අනතුරුව ලකුණු 32ක් තුළ ඉතිරි කඩුලු 4 බිඳ වැටිණි.

පිතිකාරිණී හසිනි පෙරේරා වෙනුවට කණ්ඩායමට එක් වූ මඳ වේග පන්දු යවන 33 හැවිරිදි අමා කාංචනා පන්දු 22කදී හතරේ පහර 2ක් සමඟ ලකුණු 19ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීම කැපී පෙනිණි.

ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකාරිණියන් වූ ශ්‍රීමතී මන්දනා හා ෂෆාලි වෙර්මා එක්ව පළමු කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් ගොඩනැඟූ අතර මන්දනා ලකුණු 50 සම්පූර්ණ කර සිටියදී දුවද්දී දවා ගැනීමට සමත් විය. එම ඕවරයේ ඊළඟ පන්දුවේදී ලකුණු 43ක් ලබා සිටි ෂෆාලි වෙර්මා එල්ල කළ උඩ පන්දුවක් විශ්මි ගුණරත්න රැක ගැනීමෙන් දෙවැනි කඩුල්ල බිඳ වැටිණි.

ස්ම්‍රිති මන්දනා 27 වැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 40කදී හතරේ පහර 4ක් එල්ල කොට වාර්තා කළ අතර, ෂෆාලි වෙර්මා පන්දු 38කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් ඉන්දීය ඉනිමට දායක කළාය.

ජෙමීමා රොඩ්‍රිගස් ලකුණු 7ක් ලබා සිටියදී ‘මිඩ් විකට්’හි සිටි කවීෂා දිලිහාරි අතට උඩ පන්දුවක් ලබා දුන්නද එය අල්ලා ගැනීමට නොහැකි වීමෙන් පසු ක්‍රියාත්මක වූ ජෙමීමා පන්දු 10කදී ලකුණු 16ක් ලබාගත් අතර, නායිකා හර්මන්ප්‍රීට් කාවුර් පන්දු 27කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 52ක් ලබා තම 13 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළාය.

ශ්‍රී ලංකා පිල කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සහභාගිවන නවසීලන්තය සමඟ මූලික වටයේ අවසන් තරගය සාජා පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (12) පස්වරු 3.30ට ආරම්භ වේ.

ඉන්දීය කාන්තා පිල – 172/3 (ඕවර 20) හර්මන්ප්‍රීට් කාවුර් නොදැවී 52, ස්ම්‍රිති මන්දනා 50, ෂෆාලි වෙර්මා 43

ශ්‍රී ලංකා කාන්තා පිල – 90 (ඕවර 19.5) කවීෂා දිල්හාරි 21, අනුෂ්කා සංජීවනි 20 (අරුන්දති රෙඩ්ඩි 19/3, ආශා සෝභනා 19/3, රෙණුකා සිං 16/2)