ශානක එළියට භානුක ඇතුළට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.

අගමැතිනි හා ක්‍රීඩා ඇමැතිනි හරිනි අමරසූරිය මෙනවියේ අනුමැතිය හිමිවූ මේ සංචිතයට චරිත් අසලංකගේ නායකත්වය යටතේ ක්‍රීඩකයන් 17 දෙනකු ඇතුළත් කර තිබේ.

අවසන් වරට ඉන්දියාවට එ‍රෙහිව පැවති විස්සයි20 තරගාවලියේදී දස්කම් අතරට පැමිණීමට අසමත් වූ හිටපු නායක දසුන් ශානක මේ සංචිතයේ ස්ථානය අහිමි වී ඇති අතර, 32 හැවිරිදි මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂට යළි සංචිතයේ ස්ථානයක් වෙන්ව තිබීම කැපී පෙනේ. ශානක අවසන් වරට විස්සයි20 අර්ධ ශතකයක් වාර්තා කර ඇත්තේ ඉනිම් 14කට පෙර පසුගිය වසරේ ජනවාරි මස ඉන්දියාවට එරෙහිවය. එම තරගාවලියේදී අවසන් වරට ජාත්‍යන්තර විස්සයි20 තරගයකට එක්වූ භානුක මේ වන විට විස්සයි20 තරග 37ක් ක්‍රීඩා කරමින් ලකුණු 678ක් රැස් කර ඇත්තේ අර්ධ ශතක 3ක් ද සමඟිනි.

වසර දෙකකට පසු දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට විස්සයි20 සංචිතයේ ස්ථානයක් හිමිව ඇති අතර, ඔහු පසුගිය අගෝස්තු මස ඉන්දියාවට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. ඔහු අවසන් වරට විස්සයි20 තරගයකට එක්ව ඇත්තේ 2022 වසරේ පෙබරවාරි මස ඉන්දියාවට එරෙහිවය.

දුෂ්මන්ත චමීර ද මේ සංචිතයට එක්ව නැති අතර, ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු වේග පන්දු බළඇණියට එක් කර තිබේ.

ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 3කට පසුවය. මින් පෙර තරගාවලි 3ක් පවත්වා ඇති අතර, අවසන් වරට 2021 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා පිල කොදෙව් සංචාරයක නිරත විය. එහිදී තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.

ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව තවමත් විස්සයි20 තරගාවලියක් ජය ගෙන නැති අතර, 2015 වසරේදී තරග දෙකකින් සමන්විත තරගාවලියක් 1-1ක් ලෙස සමකර ගෙන තිබේ.

මෙවර තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ මේ මස 13, 15 සහ 17 දිනවලදීය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.