එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් අද ශ්‍රී ලංකාවට එයි

ශ්‍රී ලංකා – එක්සත් ජනපද ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් මහතා සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව පසුගිය 2021 න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම මට්ටමේ හමුදා සංචාරය සනිටුහන් කරමින්, එක්සත් ජනපද නාවික හමුදාවේ තරු 4ලාභී අද්මිරාල්වරයකු සහ එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මෙම සංචාරයේ දී අද්මිරාල් කේලර් මහතා විසින් සවිමත්, තිරසාර, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගිතාව යළි තහවුරු කරන අතර අද්මිරාල් කේලර් මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන ආරක්ෂක අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුම්වත් වීම, ආපදා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික තර්ජනවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා වන එක්සත් ජනපදයේ ඇති කැපවීම නැවත තහවුරු කිරීමට මෙන්ම එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා පවත්වන බව එම තානාපති කාර්යාලය කියයි.

ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ ඇති, දැඩි කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කරයි.

අද්මිරාල් ස්ටීවන් කේලර් මහතා නාවික හමුදා පවුලක හැදී වැඩුණු අතර 1986 වසරේ බෝල්ඩර්හි පිහිටි කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගනිමින්, නාවික සංචිත නිලධාරි පුහුණු බළකාය හරහා අධිකාරි නිලයකට පත්වීම් ලබා තිබේ. 1989 මාර්තු මාසයේ දී නාවික ගුවන් නියමුවකු ලෙස පත්වීම් ලැබූ අද්මිරාල් ස්ටීවන් කේලර් මහතා F-14 ටොම් කැට් සහ F-18 සුපර් හෝර්නෙට් යානා, ගුවන් යානා වාහක මත ගොඩබෑම් 600 ක් සමඟ පැය 3,900 කට වැඩි පියාසර කාලයක් සිදුකර ඇත.

ඔහු නාවික යුද විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති අතර ඒකාබද්ධ මාණ්ඩලික විද්‍යාලයේ සහ නාවික හමුදා න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනේ උපාධිධාරියෙකි. මුහුදේදී, ප්‍රහාරක බලඝණ (VF) 211,VF-41 සමඟ සේවය කර තිබෙන අතර යු.එස්.එස් කාර්ල් වින්සන් නෞකාවේ නිලධාරියකු ලෙස සහ ප්‍රහාරක බලඝණ 143; යු එස් එස් බැටාන් ; යු එස් එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් (USS Dwight D.Eisenhower) (CVN 69); සහ කැරියර් ස්ට්‍රයික් ග්රූප් නයින් (Carrier Strike Group Nine) හි සේවය කර ඇත.

මෙම මෙහෙයුම් චාරිකා අතරතුර මැදපෙරදිග, බොස්නියා – හර්සගොවිනා සහ ලිබියාවේ මෙහෙයුම් සඳහා සහාය වූ ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝර්ම් (Desert Storm), සදර්න් වොච් (Southern Watch), ඉරාක් ෆ්රිඩම් (Iraq Freedom), ඉන්හෙරන්ට් රිසොල්ව් (Inherent Resolve), ෆ්රිඩම්’ස් සෙන්ටිනෙල් (Freedom’s Sentinel), ඩෙලිබරේට් ගාර්ඩ් (Deliberate Guard) සහ යුනිෆයිඩ් ප්‍රෝටෙක්ට්ර් (Unified Protector) යන මෙහෙයුම් සඳහා ද, හයිටි රාජ්‍යයේ හදිසි ආපදා සහන සැලසීමේ ඒකාබද්ධ ප්‍රතිචාර මෙහෙයුම සහ නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ සම තරගකාරී මෙහෙයුම් සඳහා ද දායක විය.

ගොඩබිම සේවයේ දී, කේලර් මහතා VF-101 උපදේශක නියමුවෙකු ලෙස, නාවික පිරිස් කාර්යාංශයේ ස්ථානගත කිරීමේ නිලධාරියකු සහ ජිබුටි හි අප්‍රිකා ඒකාබද්ධ කාර්යසාධක බළකායේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබෙන අතර ධජ නිලධාරියකු වශයෙන් ඔහු එක්සත් ජනපද නාවික හමුදා විධානයේ නාවික පුහුණු අධ්‍යක්ෂක ධුරය; මෙහෙයුම් සඳහා අධ්‍යක්ෂ (J3), එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානය; නියෝජ්‍ය අණදෙන නිලධාරි, එක්සත් ජනපද පැසිෆික් බලඇණිය; අණදෙන නිලධාරි, එක්සත් ජනපද 3 වන බළඇණිය සහ අධ්‍යක්ෂ, උපායමාර්ග, සැලසුම් සහ ප්‍රතිපත්ති J5, ඒකාබද්ධ කාර්ය මණ්ඩලයන්හි සේවය කර ඇත. 2024 අප්‍රේල් 4 වැනි දින එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරියා බවට පත්ව තිබේ.